භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

අප නොදුටු මතු බුදුවන මෛත්‍රි බෝසතාණෝ


අද අප ජීවත් වන්නේ මහා භද්‍ර කල්පයේය. මේ කල්පයේ බුදුවරු පස්‌ නමක්‌ පහළ වෙනවා. දැනටමත් බුදුවරු සතර නමක්‌ පහළ වි තිබෙනවා. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම නමින්, අවසානයට පහල වන්නේ මෛත්‍රි නම් බුදුරජාණන්වහන්සේය. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු පස්‌ නමක්‌ පහළ වුවත් ඇතැම් කල්පවල එක්‌ බුදු නමක්‌ පමණක්‌ පහළ වූ අවස්‌ථා ද තිබෙනවා. ලොව බුදු වරු පහළ වන කල්ප පහක්‌ තිබෙනවා. එනම්

01 සාර කල්පය

02 මණ්‌ඩල කල්පය

03 වර කල්පය

04 සාර මණ්‌ඩල කල්පය

05 මහා භද්‍ර කල්පය යනුවෙනි.

සාර කල්පයේ බුදුවරු එක්‌නමක්‌ ද, මණ්‌ඩල කල්පයේ බුදුවරු දෙනමක්‌ ද, වර කල්පයේ බුදුවරු තුන් නමක්‌ ද, සාර මණ්‌ඩල කල්පයේ බුදුවරු හතර දෙනකුද, මහ භද්‍රකල්කයේ බුදුවරු පස්‌ නමක්‌ද පහළ වෙනවා. එක්‌ එක්‌ කල්ප අවසානයේදී ලොව විනාශ වී යනවා. බුද්ධ ශූන්‍ය කාලයක්‌ ඉන්පසු ඇති වෙනවා. 

මේ මහ භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරු සතර නමට පසු මතු පහළ වීමට නියමිත මෛත්‍රි බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගත යුතු කරුණු කාරාණා ගැනයි දැන් විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නේ.

ශ්‍රද්ධාධික බුදුවරු, ප්‍රඥාධික බුදුවරු, විර්යාධික බුදුවරු ලෙස බුදුවරු කොටස්‌ 03 කට අයිති වනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්‌, උන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 80 ක්‌. ශ්‍රද්ධාධික කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 20000 ක්‌. මතු බුදුවන මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 80000 ක්‌ වන බවයි, පොත පතේ සඳහන් වන්නේ.

ඉහත බුදුවරුන්ගේ ආයු කාලය වෙනස්‌ වන්නේ බෝසත් කාලයේ පෙරුම් පුරන කාලය අඩු වැඩි වීම අනුවයි.

නියත විවරණ ලැබ කල්ප ලක්‌ෂ 08 ක්‌ ශ්‍රද්ධාධික කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පෙරුම් පිරුවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ කල්ප ලක්‌ෂ 04 ක්‌ පෙරුම් පිරුවා මතු බුදුවන මෛත්‍රි බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබ කල්ප ලක්‌ෂ 16ක්‌ පෙරුම් පුරා දැනට තුසිත දෙව්ලොවේ වැඩ සිටිනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 80කට සීමා වුණේ උන්වහන්සේ පෙරුම් පිරු කාලයේ අඩු වීම නිසා බවයි පැහැදිලි වන්නේ.

මෛත්‍රි බෝසතාණෝ අන්තිමට විවරණ ලැබුවේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේ සත්වැනි වස්‌ කාලය ගත කිරීමට තෝරා ගත්තේ තුසිත දෙව් ලොවයි. එහි වැඩ සිටි මාතෘ දිව්‍ය රාජයාට, එනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ මවුතුමියට අභිධර්මය දේශනා කිරීමටයි, බුදුන් වහන්සේ එහි වැඩම කළේ. වස්‌ තෙමස තුළම අභි ධර්මය ඇසූ මාතෘ දිව්‍ය රාජයා ඇතුළු 80 කෝටියක්‌ දෙවිවරු මාර්ග ඵල අවබෝධ කරවා, පසුව වප් පෝය දිනයකදී දඹදිව සංකස්‌සපුරයට වැඩම කළා. මෙම ස්‌ථානයට රැස්‌ වු මහජනයාට බුදුන් වහන්සේ ධර්මය දේශනා කළා. මෙම පිරිස අතර සිටි සිරිවර්ධන නම් තරුණයා බුදුන් වහන්සේගේ සහ සැරියුත් මහ රහතන්වහන්සේ අතර සංවාදයකට සවන් දී ඉන් පැහැදී එදිනම පැවිදි දිවියට ඇතුළු වුණා. මෙම භික්‌ෂුන් වහන්සේ මැනවින් ධර්මය හදාරා සිය ගණනක්‌ භික්‌ෂුන් වහන්සේලාගේ ගුරුවරයකු බවට පත් විය..

එක්‌ දිනක්‌ දම්සභා මණ්‌ඩපයේදී බුදුන් වහන්සේ මෙම භික්‌ෂුව පෙන්වා අනෙක්‌ භික්‌ෂුන් වහන්සේලාට වදාළේ මෙම මහ භද්‍ර කල්පයේදීම මෛත්‍රිය නමින් සම්මා සම්බුදු වන බවයි. එදින තමයි මෛත්‍රිය බෝසතාණෝ අන්තිම නියත විවරණය ගැනීම සිදුවූයේ ඒ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. මෙහිදී අනාගත මෛත්‍රිය බුදුන් ගැන වර්ණනාවක්‌ සිදු කළා. 

මේ බෝසත් යන වචනය අප සැවොම අසා හුරු පුරුදු වචනයක්‌. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයටයි. සත්‍ය යන වචනයේ අර්ථය ඇලුණුq යන්නයි. යම් සත්වයෙක්‌ බුදු දහමට ඇලිලා නම් ඔහුට කියන්නේ බෝධි සත්වයෙක්‌ කියලයි.

බුද්ධත්වය ලැබිමට අවශ්‍ය පාරමිතා හා ඥාන සම්භාරය, සම්පූර්ණ කිරීමට විර්ය දරන පුද්ගලයා බෝධි සත්වයකු ලෙස හඳුන්වනවා. බෝසත්වරු දිවා රෑ ගෙවන්නේ බුදුබව පතාගෙනමයි. බෝසත්වරු අල්ලා ගැනීමත් එකතුකර ගැනීමත් කරන්නේ නැහැ. කරුණාව, දයාව එකතු කර ගනිමින් බුදුබව ලබනතෙක්‌ සසර සැරිසරනවා. 

බුදුවරයෙක්‌ සහ බෝධි සත්වයෙක්‌ අතර වෙනසක්‌ තිබෙනවා. මහ කරුණාවේ අග්‍රත්වයට පත් වු ප්‍රඥාවේ පරිපූර්ණත්වයට පත් වූ කෙනකු තමයි බුදුරජාණන් වහන්සේ. නමුත් බෝසත්වරු මේ කියන මහා කරුණාව මහා ප්‍රඥාව සංසාරය පුරාම සොයමින් හා ප්‍රගුණ කරමින් ගමන් කරනවා. අන්න ඒකයි වෙනස.

බෝසත්වරු විවරණ ලබන විට සම්පූර්ණ කළ යුතු කාරණා කිපයක්‌ම තිබෙනවා 

1. පිරිමියෙක්‌ වීම

2. මනුෂ්‍යත්වයක්‌ ලබා තිබීම

3. පැවිදි බව ලබා තිබීම

4. මන්ද බුද්ධික නොවීම

5. උන්මත්තකයකු නොවීම

6. මිථ්‍යාදෘෂ්ටිකයකු නොවීම

යන කරුණුයි. බෝසත්වරු ප්‍රේත ලෝකවල, අසුර නිකායවල, නිරයන් හි, අසංකතල, බ්‍රහ්මලෝකවල උප්පත්තිය ලබන්නේ නැහැ. නමුත් බෝසත්වරු තිරිසන් ලෝකවල උප්පත්තිය ලබනවා. 

මීට සොළොස්‌ අසංඛ්‍ය කල්ප ලක්‌ෂයකට ඉහතදි මෙලොව පහළ වුන මුහුර්ත නමින් බුදු කෙනකු සිටියා. මේ කාලයේ චක්‍රවර්ති රජ කෙනෙක්‌ රට පාලනය කළා. ඒ රජු චක්‍රවර්ති රජකම හැර රත්න නමින් මහණ වුණා. මේ රත්න නමින් මුහුර්ත බුදුරජාණන් වහන්සේ ළඟ මහණ වුණේa මතු බුදු විමට නියමිත මෛත්‍රි බුදුරජුන්ය. මුලින්ම නියත විවරණ ලැබුවේ මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙනුයි. මෙසේ වියත විවරණ ලබාගත් මෛත්‍රිය බෝධි සත්වයාණන් ඉතා හොඳින් ත්‍රිපිටක ධර්මය ඉගෙනගෙන ජනතාවට දේශනා කරමින් රට තුළ සැරිසරනවා. 

දවසක්‌ ජනයාට ධර්මය දේශනා කරමින් සිටින රත්න ස්‌වාමීන් වහන්සේ මුර්ත බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ අවස්‌ථාවේ මුහුර්ත බුදුරජාණන් වහන්සේ රත්න ස්‌වාමින් වහන්සේ නැගිටුවා මහජනයා ඉදිරියේ ප්‍රකාශ කරනවා මේ ස්‌වමින් වහන්සේ එසේ මෙසේ කෙනකු නොවේ. තවත් අසංඛ්‍යය කල්ප ලක්‌ෂ දහසයකට පසුව 'මෛත්‍රිය' නමින් මනුලොව බුද්ධත්වයට පත්වන කෙනකු බවයි.

එසේ දේශනා කර අනාගත මෛත්‍රිය බෝධිසත්ව වර්ණනාව කරන්නට පටන් ගත්තා. මේ රත්න හාමුදුරුවන් බුද්ධත්වයට පත්වන කාලයේදී ඉන්දියාවේ කේතුමතී කියා රජදහනක්‌ පහළ වෙනවා. එහි සංඛ කියා චක්‍රවර්ති රජකෙනෙක්‌ රජකම් කරනවා. මෙම රඡ්ජුරුවන්ට උපදෙස්‌ දෙන්න සුබ්‍රහ්ම කියා පුරෝහිතයෙක්‌ ඉන්නවා. එයාගේ බිරිඳ බ්‍රහ්මවති බැමිණියයි. මේ බ්‍රාහ්මණයාටත් බැමිණියටත් අර්ත නමින් පුත් කුමරකු උපදිනවා. මෙම කුමරා මවුකුස පිළිසිඳ ගන්නේ ඇසළ පුන්පොහෝදාකයි. දසමස්‌ ඇවෑමෙන් වෙසක්‌ මස පුන්පෝදා ඉසිපතනය නම් උයනක දි බෝසතාණන් වහන්සේ බිහිවී සත් දිනක්‌ ඇවෑමෙන් බෝසත් මව මියගොස්‌ තුසිත දෙව්ලොව උපදිනවා. පසුව අර්ත කුමරු සියලු ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙන ගෙන අවුරුදු දාහත්දහසක්‌ සියලු සැපසම්පත් විඳිමින් ජීවත් වනවා බෝසත් අර්ත කුමරාට 

1 වර්ධමාන

2 සිද්ධාර්ථය

3 චන්ද්‍රකය

නමින් මාලිගා 03ක්‌ තිබෙනවා. අර්ත බෝධි සත්වයන් චන්ද්‍රමු නම් සුරූපී කුමාරියක්‌ සරණපාවා ගන්නවා. මේ දෙදෙනාට දාව බ්‍රහ්මවර්ධන නමින් පුත් කුමරකු උපදිනවා. මෙම පුත් කුමරා බිහි වූ දිනයේදීම සියලු සැප සම්පත් අඹු දරුවන් අතහැරදමා එක්‌ කුටියක්‌ තුළට වී භාවනානුයෝගීව වැඩ සිටිනවා. එසේ සත්වැනි දිනයේ අර්ත බෝසතුන් වැඩ සිටි මාලිගාව පිටින්ම අභිනිෂ්ක්‍රමණය වෙනවා.

ඉන්පසු අර්ත බෝධි සත්වයෝ රියන් 240ක්‌ උස නා බෝධියකට පිටදී භාවනානුයෝගීව වැඩ විසු 08 දින වෙසක්‌ මස පුර පොහෝදා හිමිදිරියේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කර උතුම් වූ බුද්ධත්වයට පත් වෙනවා. අර්ත බෝධි සත්වයෝ නාගසට පිටදී ලැබූ බුද්ධත්වය නිසා නා ගසද නා බෝධීන් වහන්සේ ලෙස පූජනීයත්වයට පත් වෙනවා. බුද්ධත්වයට පත්වීමත් සමග එම නා බෝධීන් වහන්සේ නා මලින් පිරී යනවා. ඒ නාමල් කරත්ත රෝදයකට සමාන විශාලත්වයකිනුයි පුබුදින්නේ මුළු ප්‍රදේශයම නාමල් සුවඳින් සුවඳවත් වෙනවා.

මෛත්‍රි බුදුහාමුදුරුවන් බුද්ධත්වයට පත් විමට පෙර වසවර්ති මාරයා සේනාවක්‌ සමඟ බෝසතාණන් වහන්සේ ළඟට පැමිණ බුදුවන්නට එපා කියා කියනවා. එය කියන්නේ තර්ජනාත්මකවයි. මෛත්‍රි බුදුන්ගේ පින් බලය නිසා මාරයා ඇතුළු පිරීස බිය වී පැන දුවනවා. 

මෛත්‍රිය බුදුන්ට කිරිපිඬු දානය පිළිගන්වන්නේ ගිහිකල දේවිය වූ චන්ද්‍රමු‚ බිසවයි. මෙන්න මේ මෛත්‍රි බුදුන්ගේ බුදු අසිරිය දුටු සංඛ නමැති සක්‌විති රජතුමා එවෙලේම පැවිදි බවට පත්වී රහත්භාවයටද පත් වෙනවා. රජතුමා සමඟ පැමිණි අසූහාරදහසක්‌ සේනාව සසුන්ගත වෙනවා. බුසු සසුනේ පැවිදිව රහත් ඵලයට පත් වූ රජතුමා එතුමාගේ මැණික්‌ මාලිගාව මෛත්‍රි බුදුන් වහන්සේට පූජා කරනවා.

දැන් මේ ඉහත දේශනා කරන මුහුර්ත බුදුරජාණන් වහන්සේ පැමිණි පිරිසට තවදුරටත් දේශනා කරමින් කියා සිටියේ මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අශෝක සහ බ්‍රහ්මදේව යන භික්‌ෂුන් වහන්සේලා අග්‍රශ්‍රාවකයෝ වන බවයි. අග්‍රඋපස්‌ථායක භික්‌ෂුන් වහන්සේ සිහ නැමැති හාමුදුරුවන්ය. ධර්ම භාණ්‌ඩාගාරික වන්නේද සිහ නැමති භික්‌ෂුන් වහන්සේය. පදුවා සහ සුමනා යන භික්‌ෂුණින් දෙපල අග්‍රශ්‍රාවිකා තෙරණින් දෙපල වන බවය. සුදත සහ සංඛ යන සිටුවරු දෙපල අග්‍රඋපස්‌ථායක තනතුරු ලබන බවත් යසවති සහ සංඝා යන උපාසිකාවන් දෙදෙනා අග්‍රදායිකා උපාසිකාවන් දෙදෙනා බවට පත්වන බවත්ය.

මේ අයුරින් අනාගතයේ බුද්ධත්වයට පත්වන මෛත්‍රි බුදුන් ලක්‌ෂ සංඛ්‍යත,කෝටි සංඛ්‍යාත, අසරණ සත්වයාට නිවන් අවබෝධ කරවමින් ඉතාමත් සුවෙන් සිටින බව මුහුර්ත බුදුරජාණන්a වහන්සේ දේශනා කළා. මේ දේශනාව අවසන් වන විට දහස්‌ සංඛ්‍යාත පිරිස තමන්ගේ තනතුරු නොබලා රත්න හාමුදුරුවන්ට පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළා.

මුහුර්ත බුදුහාමුදුරුවන්ගෙන් පසුව අප ගෞතම බුදුරජාණන් වහන්සේද කිඹුල්වත් පුරයට වැඩම කළ පළමු දින අනාගතයේ පහළ වන මෛත්‍රිය බෝසතුන් පිළිබඳව දිර්ඝ දේශනාවක්‌ කළා.

දැනට පවතින මේ ලෝකයේ කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් දස අකුසල් කරන්නට පටන් ගන්නවා. මෙම තත්ත්වය නිසා පුද්ගලයින්ගේ ආයුෂ ප්‍රමාණය අඩුවි යන්න පටන් ගන්නවා. පරමායුෂ අවුරුදු 10 දක්‌වා අඩුවීගෙන යනවා අයුධ භාවිතාව වැඩිවීම, ආයුධ නිශ්පාදනය වැඩිවීම, යුද්ධ ඇතිවීම, පොළවේ සාරය නැතිවීම, රසධාතුව අතුරුදහන්වීම සිදු වෙනවා.

මේ අයුරින් මිනිස්‌ සංහතියේ පිරිහියැම ආරම්භ වෙනවා. මේ අවස්‌ථාවේ කාමාවචර දෙවියන් මනුෂ්‍ය වේශයෙන් මනු ලොවට පැමිණ බෙරයක්‌ ගසමින් තව දින 07කින් වර්ෂාව ඇතිවන බවත් ඒ වැස්‌සට නොතෙමී ඉන්නා ලෙසත් කියනවා. වැරදීමකින් හෝ ඒ මුරුගසන් වැස්‌සට තෙමුන හොත් ඒ මිනිසුන් මුවන්, ගෝණුන් ලෙස පෙනෙමින් එක එකා මරාගන්නවා යි කියමින් ලෝකය වටේ යනවා මෙම පණිවිඩය කන වැටුණු ප්‍රඥාවන්ත, පින්වන්ත මිනිසුන් එම පණිවිඩය සත්‍යයක්‌ම යෑයි සිතා ගල්ගුහා, කඳු ලෙන්වල හැංගෙනවා වැස්‌සට නොතෙමී සිටින අය පසුව එළියට ඇවිත් බලන විට සිදුවී ඇති විනාශය දැක කම්පාවට පත් වී දස අකුසල්, පස්‌පව්වලින් තොරවී දැහැමිව ජීවත්වීමට පටන් ගන්නවා.

ඉන්පසු අවුරුදු 10කට පහළ බැස තිබූ ආයුෂ අවුරුදු 20 දක්‌වා ඉහළට යනවා මේ අයුරින් මිනිසුන් දාන, ශිල, භාවනා ආදී ධාර්මික කටයුතු නැවත පෝෂණය කළ විට ක්‍රමක්‍රමයෙන් නැවත අවුරුදු ලක්‌ෂය දක්‌වා පරමායුෂ වැඩි වෙනවා. මේ නිසා මිනිසුන් නොමැරෙන තත්ත්aවයකට පත් වෙනවා.ඒ නිසා මිනිසුන් නැවත දස අකුසල් කරන්නට පෙළඹෙනවා ඒ හේතුවෙන් නැවත ආයුෂ ක්‍රමක්‍රමයෙන් පහළ බහිනවා අවුරුදු 80000 දක්‌වා පරමායුෂ අඩු වෙනවා.

මේ කාලය වන විට ඉන්දියාව ලෝකයේ සශ්‍රීකම රට බවට පත්වෙනවා එහි සිටින මිනිසුන්ට ඉබේම හැමදේම පහළ වන්නට පටන් ගන්නවා. කිසිම පුද්ගලයෙක්‌ රැකියා කරන්නේ නැහැ සෑම තැනකම කප්රුක්‌ පහළ වෙනවා. මේ කාලයේදී ඉහත කී මුහුර්ත,ගෞතම බුදුහාමුදුරුවරු දේශනා කළ පරීදි සංඛ කියන සක්‌විති රජ පහළ වෙනවා සහම්පති මහ බ්‍රහ්මයාගේ ආරාධනයෙන් තුසිත දෙව්ලොව වාසය කරමින් සිටින මෙත්ෙත්‍යය බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට වැඩම වන්නේ මුහුර්ති බුදුන් වහන්සේගේ සහ ගෞතම බුදුන් වහන්සේ දෙසූ ආකාරයටමයි මෛත්‍රිය බුදුන්ගේ වැඩ කටයුතු සකස්‌ වන්නේ.

අනාගතයේ පහළ වන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ දැකගන්නට බැරි වන පිරිසකුත් සිටින බව මුහුර්ත සහ ගෞතම බුදුන් වහන්සේලා දේශනා කර තිබෙනවා

1. මව පියා ඝාතනය කළ පුද්ගලයෝ

2. රහතන් වහන්සේලා ඝාතනය කළ පුද්ගලයෝ

3. බුදු සිරුරේ ලේ සෙලවු පුද්ගලයෝ

4. සංඝභේද කළ අය

ඉහත කී අයට කිසි විටක මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉපදෙන්නට වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම දාගැබ් කඩා බිඳ දැමූ අයට, බෝධින් වහන්සේලා කපා බිම දැමූ අයට, ධර්ම පුස්‌තක විනාශ කළ අයට, ධර්මයට අගෞරව කළ අයට, ශාසනය සතු දේපළ පරිභෝග කළ අයට, මිථ්‍යා දෘෂ්ටික අයට, සතර අපාගත වු අයට, දෙවියන්ට, බමුණන්ට, ශ්‍රාවකයන්ට, පරිභව කළ අයට මෛත්‍රිය බුදු අසිරිය දකින්නට ලැබෙන්නේ නැහැ ඒ වගේම මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ අසිරීමත් බුදු අසිරිය දකින්නට පුළුවන් පුද්ගලයෝ පිළිබඳවත් මුහුර්ත සහ ගෞතම බුදුරජාණන් වහන්සේලා වදාරා තිබෙනවා.

බුද්ධෝත්පාද කාලවල ඉපිද ධර්මය ශ්‍රවණය කළ, පින්කළ, ශිලය ආරක්‌ෂා කළ අයද, දානශාලා, ධර්මශාලා, ඉදිකළ අයද, ළිං පොකුණු සාදවා මහජනයාට පැන් පහසුව සැලසූ අයද, සසුන බබළවන්නට කටයුතු කළ අයද, ධර්මාසන කරවා පූජා කළ අයද, මෛත්‍රිය බුදුන් දකින්නට පුළුවන්කම ලැබෙනවා ධර්මය දේශනා කරන ස්‌ථානවල වියන් බැඳීම හා වියන් සැරසිලි කිරීම මල් මාලා සුවඳදුම් පූජා කිරීම බණ ඇසිමට උනන්දු කරවන, ධර්ම පුස්‌තක රචනා කරන මේ සියලු දෙනාටම හා දෙමවුපියන්ට සළකන අය, ගිලන් වූ භික්‌ෂුන් වහන්සේලාට උවටැන් කිරීම, පන්සල්, ආරාම, පිලිම ගෙවල්, බුදු පිළිම ඉදිකරන අය ලෙඩුන්ට උපස්‌ථාන කරන අයද, දන්වැටවල් දෙන අයද, බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන අයටද මෛත්‍රි බුදුන් දකින්නට ලැබෙන බව බුද්ධ දේශනාවල සඳහන් වේ.

දැන් ඔබත් මොහොතකට සිතා බලන්න අනාගතයේ පහළ වන මෛත්‍රි බුදුන් දකින්නට ඔබටත් ලැබෙයිද කියා 

ඉහත කි සුදුසුකම් ඔබ සපුරා නොමැතිනම් පමා නොවී කුසලයෙහි සිත පිහිටුවා ගන්න.කුසල්, පින් රැස්‌ කරගන්න නැතිනම් ඉතින් මේ බුද්ධ ශාසනයේදී බැරිනම් මෛත්‍රී බුදුන්ගේ කාලයේදිවත් ඔබට නිවන් දකින්නට නොහැකි වේ
ඩබ්. පී. දයාරත්න
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති
.