භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

බුදුවරුන්ගේ සම–විසමතා

 සම්බුදුවරු බුද්ධත්වයේ දී සමාන ය. එහෙත් සියුම් ව විමසීමේ දී හමු වන සමානතා තිහක් සහ අසමානතා අටක් ද මේ ලේඛකයා දක්වයි.
කලින් කලට සහ වරින් වරට සම්මා සම්බුදුවරු ලොව පහළ වෙති. ඒ එක දිගට නො වේ. බුදුවරුන් පහළ වන කාලය අතරතුර කල්ප ගණනක පරතර පවතී. එක බුදුවරයකු පිරිනිවන් පානා වහා ම වෙනත් බුදු වරයකු පහළ නො වේ. බුදුවරුන් නැති ව කල්ප ගණන් ගත වේ. අප අපේ බුදු හාමුදුරුවන් යැ යි පිළිගන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේ ය.
මේ අපේ බුදුහිමියෝ බුදුවරුන් විසිහතර නමකගෙන් නියත විවරණ ලැබූ බව ති‍්‍රපිටකයේ සඳහන් ය. තවත් බුදුවරුන් තිස් ගණනකින් අනියත විවරණ ලබා ඇත. බුදු වීමට පෙර මනෝ ප්‍රණිධාන, වාක් ප්‍රණිධාන, මහා ප්‍රණිධාන වඩන කාලය තුළ, අනන්ත බුදුවරුන් හමු වී ඇත. අපේ බෞද්ධයෝ අටවිසි බුද්ධ පූජා පවත්වති. ඒ බුදුවරු විසි අට නමගෙන් විසි හතර නමක වෙතින් අප ගෞතම බුදුහිමි නියත විවරණ ලබා ඇති අතර, හතර නමකගෙන් අනියත විවරණ ලබා ඇත.
බොහෝ විට ව්‍යවහාරයේ පවතින්නේ සම්මා සම්බුද්ධ හා පච්චේක බුද්ධ යන දෙ-නම යි. එහෙත් සමහර අටුවාවල බුදුවරුන් සතර වර්ගයක නම් සඳහන් වේ. කල්ප ලක්ෂයක් හා අසංඛෙය්‍ය හතරක්, අටක්, සොළොසක් පෙරුම් පුරා, වෙනත් බුදුවරුන්ගෙන් විවරණ ලබා සම්බුද්ධත්වයට පත් වන උතුමා ‘සබ්බඤ්ක්‍දූ බුද්ධ’ නමින් හඳුන්වනු ලැබේ. කල්ප ලක්ෂයක් හා අසංඛෙය්‍ය දෙකක් පෙරුම් පුරා සිව්සස් අවබෝධ කරගන්නා උතුමා ‘පච්චේක බුද්ධ’ නමින් හඳුන්වනු ලැබේ. සියලු කෙලෙසුන් ප්‍රහීණ කොට රහත් බව ලබන උතුමෝ ‘චතුසච්ච බුද්ධ’ නම් වෙයි. ‘ක්ෂීණාශ්‍රව බුද්ධ’ යනු ද මෙතෙමේ ම ය.
සම්මා සම්බුද්ධත්වයට පත් වන පුද්ගලයා අවම වශයෙන් අසංඛ්‍යෙ කල්ප විස්සක් වත් ඒ සඳහා වැය කළ යුතු බව බෝධිසත්ත්ව චරියාව, සද්ධර්මරත්නාවලිය වැනි පොත්පත්වල සඳහන් වේ. මෙම කාලය තුළ ප්‍රණිධාන තුනක් සම්පූර්ණ කරති. එයින් මනෝ ප්‍රණිධානය යනුවෙන් අදහස් කැරෙන්නේ ‘මම බුදු වෙම්වා!’ යන්න සිතින් සිතමින් ජීවත් වීම යි. වචී ප්‍රණිධානය කල්ප නවයක් තුළ සම්පූර්ණ කරති.
වචී ප්‍රණිධානය නම් ම බුදු වෙම්වා!’ යි වචනයෙන් ප්‍රාර්ථනා කිරීම යි. මෙය තමන් විසින් ම වචනයෙන් ප්‍රකාශ කරන අතර, ‘ඔබ බුදු වේවා!’ යි අන්‍යයෝ ද ප්‍රාර්ථනා කරති. අනියත විවරණ ලබන්නේ මේ කාලය ඇතුළත ය. මහා ප්‍රණිධානය අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් තුළ සම්පූර්ණ කරති. ‘ඔබ අසවල් කාලයේ අසවල් නමින් බුදු වන්නේ ය. ඔබේ මව, පියා, බිරිය, දරුවා අසවල් අය වෙති’ යනුවෙන් බුදු වන බව ස්ථිර ව ම ප්‍රකාශ වන්නේ මේ නියත විවරණ කාලය තුළ දී ය. විසිහතර නමකගෙන් විවරණ ලබා ඇති ගෞතම බුදුරදුන් අනාගතයේ බුදු වන බුදුවරුන් දස නමකට විවරණ දුන් බව අනාගත වංශයේ සඳහන් වේ.
ලෝකයේ පහළ වන බුදුවරු පොදු වශයෙන් අන්තරාය හතරකින් ආරක්ෂා වෙති. බුදුවරුන්ගේ සිව්පසයට හානියක් කිරීමට කිසිවකුට නුපුළුවන. බුදුවරුන්ගේ මහා පුරිස ලක්ෂණයන්ට හා අසූවක් අනුව්‍යඤ්ජනයන්ට හානියක් කිරීමට කිසිවකුට නුපුළුවන. බුදුවරුන්ගේ රශ්මි මාලාවේ පැතිරීමට බාධා කිරීමට කිසිවකුට නුපුළුවන.
මේ සෑම බුදුවරයකුට ම පොදුවේ බලපාන සමානතා තිහකි. ඒවා පහත පරිදි පෙළගැස්විය හැකි ය.
1. සෑම බෝධිසත්ත්වයෙක් ම මව්කුස පිළිසිඳගන්නා විට එළඹ සිටි සිහියෙන් පසු වේ.
2. මව්කුස සිටිය දී තම මුහුණ පිටතට හරවා පිළිමයක් මෙන් බද්ධ පර්යංකයෙන් සිටී.
3. බෝසත් දරුවාගේ ප්‍රසූතිය සිදු වන්නේ බෝසත් මව සිටගෙන සිටිය දී ය.
4. උත්පත්තිය සිදු වන්නේ මල් උයනක දී ය.
5. උපන් සැණෙකින් උතුරු දෙසට පියවර හතක් ගමන් කරයි.
6. අභීත සිංහනාද පවත්වයි.
7. සතර පෙරනිමිති දැක, මහාභිනිෂ්ක්‍රමණය කරයි.
8. කහ සිවුරු පෙරවයි.
9. බුදු වන දිනයේ කිරිපිඬු වළඳයි.
10. පරිනිර්වාණයට පෙර දවසේ මස්-මාංස සහිත ආහාරයක් වළඳයි.
11. තණ පලසක තණ ගොඩක හිඳ බුද්ධත්වයට පත් වෙයි.
12. මාර පරාජය කරයි.
13. අනාපානසතිය ප්‍රගුණ කරයි.
14. බෝමැඬ අබියස දී මහ සම්මා සම්බුද්ධත්වයට පත් වෙයි.
15.මහ බඹුගේ ආරාධනාවෙන් ම දම්සක් පවත්වයි.
16. ඉසිපතනයේ මිගදායේ දී ම දම්සක් පවත්වයි.
17. ඇසළ පොහෝ දා සිව් පිරිසට පාමොක් දෙසයි.
18. බොහෝ සෙයින් ජේතවනාරාමයේ වැඩ වසයි.
19. සැවැත් නුවර දී යමාමහපෙළහර පායි.
20. තව්තිසා දෙව්ලොව දී අභිධර්මය දේශනා කරයි.
21. එහි සිට සංකස්ස නුවරට වැඩමවයි.
22. ධ්‍යාන දෙකක් තුළ දී අනුන්ගේ සිත් නම්මාගැනීමට ශක්තිය ලබයි.
23. නිරන්තරයෙන් ඵලසමාපත්තියට සමවදියි.
24. නිසි අවස්ථාවේ ම විනය නීති පනවයි.
25. ඥාති සමාගමයේ දී බුද්ධවංශ දේශනාව කරයි.
26. තමන් හමු වන්නට එන භික්ෂූන් කරුණාවෙන් පිළිගනියි.
27. දායකයන්ගෙන් සමු නොගෙන වස් විසූ තැනින් පිටත නො යයි.
28. පෙරබත්කිස පසුබත්කිස වශයෙන් ද රාත්‍රියේ තුන් යාමයේ දී ද එක ම කාල සටහනක් අනුව කටයුතු කරයි.
29. පිරිනිවීමට පෙර විසිහතර කෝටි එක් ලක්ෂයක් සමාධිවලට සමවදියි.
30. හේතුවක් කාරණයක් ඇති වූ විට ම විනය නීති පනවයි; නිකරුණේ නොපනවයි.
මෙම ස්වභාවයන් තිහ සෑම බුදුවරයකුට ම සමාන ය.
එක් එක් බුදුවරුන්ට වෙනස් වන, විසමතා අටකි. මේවා ‘අට්ඨ වේමත්තතා’ යනුවෙන් දක්වා තිබේ.
1. ආයුෂ විෂමතා: එක් එක් බුදුවරු ලොව පහළ වන අවධියේ පවතින කල්පයේ ආයුෂ අනුව ය. දීපංකර බුදුන් බුදු වන විට ආයුෂය ලක්ෂයකි. ගෞතම බුදුන් බුදු වන විට ආයු කාලය අවුරුදු සියයකි.
2. පමාණ විෂමතා: එක් එක් බුදුවරයාගේ උස වෙනස් වේ. දීපංකර බුදුහු අසූ රියනක් උස ය. ගෞතම බුදුහු දහ අට රියනක් උස ය.
3. කුල විෂමතා: සමාජ තත්ත්වය වෙනස් වේ. කොණ්ඩඤ්ඤ බුදුහු බ්‍රාහ්මණ වංශයේ ය. ගෞතම බුදුහු ක්ෂත්‍රිය කුලයේ ය.
4. පධාන විෂමතා: වීරිය වැඩීම සඳහා දුෂ්කර ක්‍රියා කාලය වෙනස් වෙයි. දීපංකර, කොණ්ඩඤ්ඤ බුදුවරු දස මාසය යි. රේවත බුදුහු හත් මාසය යි. ගෞතම බුදුහු අවුරුදු හය යි.
5. රශ්මි විෂමතා: ශරීර ප්‍රභාවය, බ්‍යාමප්‍රභා මණ්ඩලය වෙනස් වේ. ඒ ඒ බුදුවරුන්ගේ කැමැත්ත පරිදි එය වෙනස් වේ. මංගල බුදුරදුන්ගේ බුද්ධ රශ්මිය දසසහස්සී ලෝක ධාතුව පුරා පවතින අතර, ගෞතම බුදුරදුන්ගේ බුද්ධ රශ්මිය බඹයක් පමණි.
6. යානයේ වෙනස: ඒ ඒ බුදුවරු මහාභිනිෂ්ක්‍රමණය සඳහා යොදාගන්නා වාහනය වෙනස් වේ. දීපංකර, සුමන, ඵුස්ස බුදුවරු ඇත් යානයෙන් ගියහ. ගෞතම බුදුහු අශ්ව යානයෙන් ගියහ. පදුමුත්තර, ධම්මදස්සි, කස්සප ආදි බුදුවරු පයින් ගියහ.
7. බෝධියේ වෙනස: බුදු වන ස්ථානය අවිජහිත වුව ද, වෙනස් නොවුණ ද බෝධි වෘක්ෂය වෙනස් වේ. විපස්සී බුදුන් පළොල් ගස යට, සීඛී බුදුන් සුදු අඹගස යට, කස්සප බුදුන් නුගරුක යට, ගෞතම බුදුන් ඇසතු නුගරුක යට ආදි පරිද්දෙනි.
8. පරියංක වෙනස, සෑම බෝධිසත්ත්වවරයකු ම බුද්ධත්වයට පත් වන්නේ තණ පලසක් මත ම වුවත් දිගු-පුළුල අනුව එහි ප්‍රමාණය වෙනස් වේ. මේ අනුව දීපංකර, රේවත, අත්ථදස්සී ආදි බුදුවරුන්ගේ ආසන තෙපණස් රියන් විය. සෝභිත, අනෝමදස්සී බුදුවරුන්ගේ ආසන අටතිස් රියන් විය. අප ගෞතම බුදුන්ගේ ආසනය තුදුස් රියන් විය.
ගෞතම බුදුරදුන් පිළිබඳ ව සලකන විට සහජාත පරිච්ඡේදයක් හා නක්ෂත්‍ර පරිච්ඡේදයක් දැක්වේ. යසෝදරා, ඡන්න, කන්ථක, මහාබෝධිය, කාළුදායි හා නිදන් සැළි සතර සිද්ධාර්ථ කුමරු උපදින දවසේ ම උපන්හ. ඒ සහජාත පරිච්ඡේදය යි. උතුරුසල නැකතින් මව්කුස පිළිසිඳගැනීම, මහබිනික්මන් කිරීම, දම්සක් දේශනාව පැවැත්වීම ද, විසා නැකතින් ඉපදීම, බුදු වීම, පිරිනිවීම සිදු වීම ද, මා නැකතින් ශ්‍රාවක සන්නිපාතය හා ආයු සංස්කාරය හැරීම ද සිදු විය. මෙය නක්ෂත්‍ර පරිච්ඡේදය වශයෙන් දැක්වේ.
මෙනයින් බුදුවරුන් අතර ලක්ෂණ වශයෙන් මෙබඳු සම-විසමතා දක්නට ලැබුණ ද සෑම බුදුවරයකුගේ ම බුද්ධ කර්තව්‍යය නම් එකකි. එනම්: සකල ලෝක සත්ත්වයන් වෙත පතළ මහා කරුණාවෙන් නිර්වාණ මාර්ගය දේශනා කිරීම ය.
පණ්ඩිත, ශාස්ත්‍රපති විජිතනන්ද සරත්චන්ද්‍ර
නමස්කාරය සඟරාව
.