භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් වනුයේ කෙසේද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී, 
මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

"භගවත් යන මේ නාමය ශ්‍රේෂ්ඨ නාමයකි. භගවත් යන මේ නාමය උතුම් නාමයකි. ඒ තථාගතයන් වහන්සේ ගෞරවාර්හය. එබැවින් උන්වහන්සේ භගවත් යැයි කියනු ලැබේ යනු මෙහි අර්ථයයි. එය තවදුරටත් පැහැදිලි කරන බුදුගොස් මාහිමියෝ මෙය අවස්ථාවට පාවිච්චි කරන නාමයක් නොව බුදුරජාණන් වහන්සේ අධ්‍යාත්මික වශයෙන් ලැබුවා වූ උත්තරීතර තත්ත්වය ප්‍රකාශ කෙරෙන නාමයක් බව පවසති."
භගවා යනු බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට පාලි ත්‍රිපිටකයෙහි භාවිතා කෙරෙන ප්‍රධානතම ගුණ නාමයකි. සමහර තැනක බුද්ධ යන්නට පර්යාය වශයෙන් යොදා ඇත. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති – එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩවාසය කරන සේක” යන තැන්හි මෙනි.
එසේම තවත් තැනක “භගවත්තං ගෝතමං සරණං ගච්ඡාමි – භාග්‍යවත් ගෞතමයන් වහන්සේ සරණ යමි” යනුවෙන් විශේෂණ පද වශයෙන් යොදා ඇත. මේ කවර ආකාරයකින් යෙදුවද භගවා යන්න ත්‍රිපිටකයේ භාවිතා කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ සඳහා පමණය. මුළු ත්‍රිපිටකයේ කවර තැනක හෝ බුදුරදුන් හැර වෙනත් කිසිදු ශ්‍රාවකයෙක් සඳහාවත් භගවා යන අභිධානය ආරෝපණය කර නැත.

අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් මෙම වචනය විග්‍රහ කරමින් භගවත් යනු ගුණයෙන් විශිෂ්ට වූ සියලු සත්ත්වයන්ට උතුම් වූ ගෞරවාර්හ වූ තථාගතයන් වහන්සේට කිව යුතු ගෞරව නාමයක් බව දක්වයි.
“භගවති වචනං සෙට්ඨං භගවාති වචන මුත්තමං 
ගරුගාරව යුත්තො සො භගවා තෙන වුච්චති”

භගවත් යන මේ නාමය ශ්‍රේෂ්ඨ නාමයකි. භගවත් යන මේ නාමය උතුම් නාමයකි. ඒ තථාගතයන් වහන්සේ ගෞරවාර්හය. එබැවින් උන්වහන්සේ භගවත් යැයි කියනු ලැබේ යනු මෙහි අර්ථයයි. එය තවදුරටත් පැහැදිලි කරන බුදුගොස් මාහිමියෝ මෙය අවස්ථාවට පාවිච්චි කරන නාමයක් නොව බුදුරජාණන් වහන්සේ අධ්‍යාත්මික වශයෙන් ලැබුවා වූ උත්තරීතර තත්ත්වය ප්‍රකාශ කෙරෙන නාමයක් බව පවසති. ත්‍රිපිටකයටම අයත් මහානිද්දේස පාලි නම් ග්‍රන්ථයෙහි සැරියුත් මහරහතන් වහන්සේ එම අදහස මෙසේ විවරණය කර දක්වා ඇත.
“භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න හාතරා කතං...... විමොක්ඛන්තික මෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලේ සහසබ්බක්දුතඤාණස්ස පටිලාභා සච්ජිකා පඤ්ඤත්ති යදිදං භගවාති”
මෙම භගවත් යන නාමය මෑණියන් විසින් දෙන ලද්දක් නොවේ, පියාණන් විසින්, සහෝදරයෙක්, සහෝදරියක්, යහළුවන් විසින් සහලේ නෑයන් විසින්, මහණ බමුණන් විසින්, දෙවි දේවතාවන් විසින්, දෙන ලද්දක් නොවේ. භාග්‍යවත් බුදුවරයන්ට අර්හත් මාර්ගයාගේ අන්තයෙහි බෝමුලදී සර්වඥතා ඥානයාගේ ප්‍රතිලාභය සමඟ රහත්ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් හෝ සර්වධර්මයක් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී යනුයි සැරියුත් හිමියන්ගේ මෙම ප්‍රකාශය අනුව භගවා යනුවෙන් හැඳින්විය හැක්කේ සර්වඥතා ඥානය ලැබූ බුදුවරයෙක්ම පමණක් බව පැහැදිලිය.
බුදුරජාණන් වහන්සේ භගවා නම් වනුයේ කිනම් අර්ථයෙන්ද යන්න පිළිබඳවත් දීර්ඝ විශ්ලේෂණයක් විසුද්ධි මාර්ගයෙහි ඡ අනුස්සති නිද්දේසයෙහි ඇතුළත් වෙයි.
“භාග්‍යවා භග්ගවා යුත්තො භග්ගේහි ව විහතත්වා වත්ත ගමනො භවෙසු භගවා තතො” යනුවෙන් අර්ථ හයක් එහිදී පෙන්වා ඇත. භාග්‍යවා ඉති භගවා භාග්‍ය අත්තේ භගවා නම් වේ යනු ඉන් පළමු අර්ථයයි. මෙහි භාග්‍ය නම් අප සාමාන්‍ය ව්‍යවහාරයෙහි කතා කරන ජන්මයෙන් හෝ දෛවයෙන් ලබන සෞභාග්‍යය නොවේ. ලෞකික ලෝකෝත්තර සැප ඵලවන දාන සීලාදී කුසල හා පුරන ලද පාරමී ධර්මයන්ය. පුරණ ලද දානාදී කුසල ධර්මයක් නිසා උන්වහන්සේට ලෞකික සැපත් ඒ නිසාම දියුණු කරගත් අධ්‍යාත්මික පවිත්‍රතාවය නිසා ලෝකයෙන් එතෙරවීම නම් වූ ලෝකෝත්තර නිවන් සුවයක් ඇති හෙයින් භාග්‍යවන්තය.
දෙවැනි අර්ථය, භගවතා ඉති භගවා - බිඳ දැමූ හෙවත් නැති කළා වූ හෙයින් භගවා යනුයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් බිඳ දමනු ලැබුවේ මොනවාද? රාග, දෝස, මෝහ ආදී සත්තාන ගතව ඇති සියලු ක්ලේශ ධර්මයන් හෙවත් පුහුදුන් පුද්ගලයා තුළ ඇති සිත කිළිටි කරන ගති ස්වභාවය උන්වහන්සේ සම්පූර්ණයෙන්ම නැතිකර දමන ලදී. තවත් අතකින් උන්වහන්සේ මරණයට තුඩුදෙන සියලු අවස්ථා නැතිකළ හෙයින් ද භගවා යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ අනුව ‘භග්ග වා භගවා’ යන අර්ථයෙන් එය භාවිතා කළ හැක්කේ බුදුරජාණන් වහන්සේටය. ඒ නිසාම උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ.
තග්ග රාගො භග්ග දොසෝ භග්ග මොහෝ අනාසවෝ 
භග්ගාස්ස පාපකා ධම්මා භගවා තෙන වුච්චති

යනුවෙන් එය තවදුරටත් විස්තර කරන අටුවාචාර්යන් වහන්සේ යම් හෙයකින් ශාස්තෘන් වහන්සේ විනාශ කළ රාග, දෝෂ, මෝහ ඇති සේක් ද ආශ්‍රව නැති සේක්ද සියලු පව් බිඳ දැමූ සේක් ද එහෙයින් භගවා නම් වන සේකැයි දක්වති.
භගවා යන්නෙහි තවත් අර්ථයක් නම් ධර්ම පර්යායක් විහජනය කර ප්‍රභේදනය කර දැක්වීමයි. බුදුරජාණන් වහන්සේ ධර්මය පැහැදිලි කිරීමේ දී අනුගමනය කර ඇත්තේ විහජනය කර දැක්වීමේ ක්‍රමයයි. කුසලාධම්ම අකුසලාධම්මා, අව්‍යකතා ධම්මා ආදී වශයෙන් සියලු ධර්මයන් බෙදා දක්වයි. කුසලාදි ධර්මයන් ස්කන්ධ – ධාතු – ආයතන - සත්‍ය ඉන්ද්‍රීය, පටිච්චසමුප්පාදා දී භේදයෙන් බෙදා දක්වයි. මේ ආදී නොයෙක් ආකාරයෙන් ධර්මය බෙදා වික්‍රහ කරන බැවින් උන්වහන්සේ විභජ්ජවාදී යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එමනිසා මෙම අර්ථයෙන් ද බුදුන් වහන්සේ භගවා නම් වෙයි.
උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ධර්මයන් භජනය කළ හෙයින් (හනත්වා ඉතා භගවා) භගවා නම් වෙති. අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්ම, දිව්‍ය බ්‍රහ්ම හා ආර්ය යන ත්‍රිවිධ විහරණ, කාය චිත්ත උපධි විවේක ලෞකික ලෝකෝත්තර මනුෂ්‍ය ධර්ම උන්වහන්සේ නිරන්තරයෙන් භජනය කළහ. බහුලව ප්‍රගුණ කළහ. එසේ අනන්ත කාලයක් වඩන ලද, සේවනය කරන ලද, ධර්මයන්ගේ බලය බුදුකෙනෙකුන්ට හැර වෙනත් කවරෙකුටවත් සමාන කළ නොහැක. එම නිසා මෙම අර්ථයෙන් භගවා යන්න භාවිත වන්නේ බුදුරදුන්ටමය.
නැවත නැවත ඉපදීම, මරණය හෙවත් සංසාර චක්‍රය කඩා දැමූ හෙයින් (නග්ග සංසාර චක්කාරො) ද බුදුරජාණන් වහන්සේට භගවා යැයි කියනු ලැබේ. බුද්ධත්වය අවබෝධ කළ වහාම බෝධි මූලයෙහිදී ප්‍රකාශිත ‘අනේක ජාති සංසාරං’ යන උදානය තුළින් ප්‍රකට කරන ලද්දේ මෙම අත්දැකීමයි.
මේ අනුව පෙළ අටුවා ඇතුළු බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හී භගවා යන නාමය බුදුන්වහන්සේ සඳහා භාවිතා කර ඇත්තේ උන්වහන්සේ තුළ විද්‍යාමාන වූ ආධ්‍යාත්මික ගුණාංගයන්ට අන්වර්ථවන ආකාරයෙනි. උන්වහන්සේ භාග්‍යවතුන් නම් වූ සේ තමන් වහන්සේ විසින්ම පුරන ලද ධර්ම සම්භාරයත් නිසාය. තමන් වහන්සේ විසින් සාක්ෂාත් කරගත් බුද්ධත්වය නිසා ය. තමන් වහන්සේ විසින්ම නැතිකළ කෙලෙසුන් නිසාය. එය කිසිවෙක් විසින් උන්වහන්සේට ආරෝපණය කරන ලද්දක් හෝ කළ හැක්කක් නොවේ. බුද්ධ ධර්මයට අනුව කෙනෙක් ශුද්ධවන්තයෙක් හෝ අශුද්ධ වූ වෙක් කිරීමට වෙනත් කෙනෙකුට පුළුවන්කමක් නැහැ. කෙනෙක් ශුද්ධවන්තයෙක් හෝ පව්කාරයෙක් වන්නේ තමාගේ ක්‍රියාකාරීත්වය තුළින්මය. ‘සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසොධයෙ
.