භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

ඒ මහා අසමාන ප්‍රඥාව


බුදු රජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඤාණ විස්තර කරන ලිපි පෙළ.

මහා ප්‍රාඥ වූ ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව අපි වගේ සාමාන්‍ය කෙනකුට තබා මේ සම්බුද්ධ සාසනයේ භික්‍ෂූන් අතර ප්‍රඥාවෙන් අග්‍ර වූ සැරියුත් මහ රහතන් වහන්සේට වත් සර්ව සම්පූර්ණයෙන් අරමුණු කරන්නට, විග්‍රහ කරන්නට පුළුවන්කමක් නෑ.
සැරියුත් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවකදී උපමාවක් දේශනා කරනවා: මහා සාගරයට ඇඟිල්ල දිගු කළහම ඒ කෙළින්ම තිබෙන ජල කඳ කොතරම් අල්පද? අවශේෂ ජල කඳ කොතෙක් විශාලද? අන්න ඒ වගේ බුදු රජාණන් වහන්සේගේ ගුණ සිතන කොට, ප්‍රඥාව අරමුණු කරන කොට උන් වහන්සේගේ මනසට අරමුණු වන ප්‍රමාණය ඉතා අල්පයි, අරමුණු නොවෙන ප්‍රමාණයම අනන්තයි අප්‍රමාණයි කියලා.
එහෙම නම් මහා ප්‍රාඥයෙක් හැටියට සම්මුති ලැබූ, සියලු දෙනාගේ ගරු සම්භාවනාවට පාත්‍ර වූ මහ රහතන් වහන්සේ නමක් වන සැරියුත් තෙරුන් වහන්සේට වත් බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණය, අනන්ත ප්‍රඥාව පූර්ණ ලෙස විග්‍රහ කරන්නට, දකින්නට පුළුවන්කමක් නැහැ. සම්මා සම්බුදු කෙනෙකුන් විසින්ම සම්බුද්ධ ගුණය හෙවත් ඒ මහා ප්‍රඥාව කල්පයක් මුළුල්ලේ වර්ණනා කළත්, කල්පය අවසන් වනවා විනා බුදු ගුණ අවසන් වන්නේ නෑ.
එතරම් අනන්ත ප්‍රඥාවක් ඇති භාග්‍යවතුන් වහන්සේගේ තෙසැත්තෑ ඤාණයන් පිළිබඳව විස්තර කරන්නයි මේ උත්සාහ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව විග්‍රහ කරන්නට යෑමේදී යම්කිසි අඩුපාඩුවක්-දෝෂයක් සිදු වේ නම්, ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් පළමුවත් දෙවනුවත් තෙවනුවත් සමාව අයදිමිනුයි අපගේ ශක්ති ප්‍රමාණයෙන් මේ විග්‍රහය කරන්නේ.
යම් කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව ඒ ආකාරයෙන්ම වර්ණනා කරන්නට නොහැකි වුණත් තමන්ට හැකි ප්‍රමාණයෙන් සැදැහැ සිතින් බුද්ධ ඤාණ ආවර්ජනා කරනවා නම්, වර්ණනා කරනවා නම්, එය ඒකාන්තයෙන්ම ප්‍රඥාව ලබන්නට හේතු වන මහා කුසලයක් වෙනවා.
මීට කල්ප තිස් දහසකට පෙර හිමාලයේ ජීවත් වුණු එක්තරා තවුසෙක් සුමේධ බුදු රජාණන් වහන්සේ ලොව පහළ වී දහම් දෙසන බව අහලා උන් වහන්සේ දකින්න පැමිණියා. බුදු කෙනකු දැකීමෙන් අසීමිත සතුටට පත් වුණු මේ තවුසා බුදු රජාණන් වහන්සේට නමස්කාර කරලා, ඒ මොහොතේ තම හදවතින්ම මතු වූ ගෞරවය හා ශ්‍රද්ධාව නිසා උන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ස්තුති කළා:
“ස්වාමීනී, බුදු රජාණන් වහන්ස, මහ සයුර කුස තණ අගින් ගෙන ප්‍රමාණ කළත්, මහ පොළොව තරාදියෙන් කිරා ප්‍රමාණ කළත්, ආකාශය ඇඟිල්ලෙන් මනින්නට හැකි වුවත් ඔබ වහන්සේගේ ප්‍රඥාව මෙපමණකැයි ප්‍රමාණ කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ ප්‍රඥාවේ ආලෝකය විශ්වය පුරා පැතිරී යනවා. බොහෝ දෙවි මිනිසුන් ඒ ආලෝකයෙන් තම සිත්සතන්වල මොහඳුර දුරු කරගෙන සසර කතරින් එතෙර වෙනවා,” ආදි වශයෙන් ඒ තාපසතුමාගේ ශක්ති ප්‍රමාණයෙන් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව වර්ණනා කරලා ස්තුති පූජාවක් කළා. බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥාව අරමුණු කරමින් කුසල් සිතුවිලි උපදවාගැනීමේ විපාකය වශයෙන් ඒ තාපසතුමා උපනුපන් කිසියම්ම ආත්ම භවයකදී නරකාදි සතර අපායකට නොවැටී දෙව් මිනිස් දෙගතියේ බොහෝ සම්පත් ලබලා උපදින උපදින සෑම ආත්ම භාවයකම උසස් ප්‍රඥාවක් ඇතිව උපදිමින් මේ ගෞතම බුද්ධ ශාසනයේ සත් අවුරුදු වියේදීම නිවන් දැකපු බව ඤාණථවික ථේරාපදානයේ සඳහන් වෙනවා.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාවේ ආලෝකය මිහිපිට පවතින කිසිම ආලෝකයකට සම කරන්න පුළුවන්කමක් නැහැ. සූර්යාලෝකයෙනුත්, අන්‍ය ආලෝකයෙනුත් යමක භෞතික ස්වරූපය විතරයි දැකගන්නට පුළුවන් වෙන්නෙ. ඒ තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් භෞතික වූ සියල්ලමත් මානසික වූ සියල්ලමත් විනිවිද දැකගත්තා. බාහිර ආලෝකයෙන් බාහිර අඳුර විතරයි දුරු වෙන්නෙ. සම්බුදු රජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් බාහිර අන්ධකාරය පමණක් නෙමෙයි මනසේ පැවති මෝහය නමැති - අවිද්‍යාව නමැති අන්ධකාරය මතු කිසිකලෙක නූපදින ආකාරයෙන් ප්‍රහාණය කරලා දසදෙස ඒකාලෝක කළා.
පහනකින් සිය-දහස් ගණන් පහන් දල්වන්නා සේ භාග්‍යවතුන් වහන්සේ සිය සන්තානය තුළින් මතු කළ අනන්ත ප්‍රඥාවෙන් මිනිසුන් දෙවියන් බඹුන් තුළ, දසදහසක් සක්වළ මුළුල්ලේ අපමණ සත්ත්වයන් තුළ ප්‍රඥා ආලෝකය දල්වන්නට සමර්ථ වුණා; එසේම දහම් දෙසමින් සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන්ගේ මොහඳුර දුරු කර අමා මහ නිවනට පමුණුවන්නට සමත් වුණා. තවත් දීර්ඝ කාලයක් ගත වන තුරු නුවණ ඇති, වීර්ය ඇති දෙවි මිනිසුන්ට තම සන්තානයන්හි මෝහාන්ධකාරය දුරු කර ලෝකය මැනවින් දැකගන්න, ප්‍රඥාව පහළ කරගන්න සුදුසු දහමක් උන් වහන්සේ දේශනා කළා. මෙසේ බුද්ධඤාණය ආවර්ජනා කරමින් එක් පහනක් හෝ දල්වන්නේද ඒ මහා කුසලය අනාගත සංසාරයේ ප්‍රඥා ආලෝකය ලබන්නට හැම දෙනාටම හේතු වෙනවා.
බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥාව කොටස් වශයෙන් වෙන් කරන්නට පුළුවන්කමක් නැහැ. මනුෂ්‍යයන්ට වටහාගැනීමට පහසු වීම පිණිස එක් එක් තැන එක් එක් ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. ප්‍රඥාව එකක්ම වුවත් ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා වූ ධර්මයන්ගේ විවිධත්වය අනුව බුද්ධඤාණයන් ප්‍රභේද වශයෙන් දක්වා තියෙනවා. පටිසම්භිදාමග්ග පාළියේ තුන් ආකාරයකින් දක්වා තිබෙන එම ඤාණ ප්‍රභේදයන් අපි - ‘තෙසැත්තෑ ඤාණය’ වශයෙන් හඳුන්වනවා.
ත තෙසැත්තෑ ඤාණයන් අතර පළමු වැන්න සුතමය ඤාණයයි.
යමක් අහලා දැනගත යුතු නම්, ඒ අසා දැනගත යුතු දේ පිළිබඳ ප්‍රඥාවට කියනවා සුතමය ඤාණයයි කියලා. බොහෝ මනුෂ්‍යයන්ට යමක් ඇසුවට, ඇසූ පමණින් ඒ පිළිබඳව නුවණ පහළ වෙන්නේ නෑ. ඒක ටික වෙලාවකින් අමතක වෙලා යනවා. නමුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ බෝසත්වරයෙක් හැටියට අනන්ත සසරේ අප්‍රමාණ ලෝක විෂයයන් පිළිබඳව අන් අයගෙන් ඇසූ පිරූ දැනුම ඇතුව, ඒ ඇසූ දේ පිළිබඳව ගැඹුරු ප්‍රඥාවක් අවදි කරගන්නට සමර්ථ වුණා.
අන්තිම භවයේදී කිසි කෙනකුගෙන් නොඅසාම චතුරාර්ය සත්‍ය ධර්මය, ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගන්නට උන් වහන්සේ සමත් වුණ නිසා ‘සම්මාසම්බුද්ධ’ කියන විශේෂ ගුණ පදයෙන් හඳුන්වනවා. ඉන් පෙර බෝසත් ආත්මභාවයන්හිදී බොහෝ ගුරුවරු ඇසුරු කරමින්, සම්මා සම්බුදුවරුන් දකිමින් උන් වහන්සේලාගෙන් දහම් අසමින්, රහතන් වහන්සේලා දකිමින් උන් වහන්සේලාගෙන් දහම් අසමින් ඒ පිළිබඳව සුතමය ප්‍රඥාව ඇති කරගන්නට මහ බෝසතාණන් වහන්සේ උත්සාහවත් වුණා.
බුද්ධත්වයට පත් වන අවසාන ආත්මභාවයේදී සිද්ධාර්ථ කුමාරයා හැටියට උන් වහන්සේ බොහෝ ඇදුරන් ඇසුරු කරමින් මේ ලෝක විෂය පිළිබඳව බොහෝ දේ දැන-ඉගෙනගත්තා. වරක් ඇසූ පමණින් නැවත කිසිදාක නොඅසා ඒ පිළිබඳව ඤාණය පහළ කරගන්නට තරම් උන් වහන්සේ ප්‍රඥාවෙන් අගතැන්පත් වුණා. ඒ නිසා ‘සුතමය ඤාණය’ කියන්නේ එක් දෙයක් එක් වරක් ඇසූ පමණින් ඒ පිළිබඳව පහළ විය යුතුª උසස් ප්‍රඥාව ඇති කරගැනීමේ හැකියාවයි.
මේ ධර්මයන් අනිත්‍යයයි, මේ ධර්මයන් දුකයි, මේ ධර්මයන් අනාත්මයි කියලා අන් අයගෙන් අසා දැනගැනීම ශ්‍රැතියයි. ඒ පිළිබඳ ප්‍රඥාව ශ්‍රැතිමය ඤාණයයි. මේ දුක්ඛ සත්‍යයයි, මේ සමුදය සත්‍යයයි, මේ නිරෝධ සත්‍යයයි, මේ මාර්ග සත්‍යයයි අසා දැනගැනීම ශ්‍රැතියයි. ඒ ශ්‍රැතිය පිළිබඳ ඥානය, ශ්‍රැතමය ඥානයයි.
යම් ධර්මයක් ප්‍රහාණය කළ යුතුද? තෘෂ්ණාව, අවිද්‍යාව, පංච නීවරණ ආදි ප්‍රහාණය කළ යුතු ධර්මයන් පිළිබදවත්, යම් ධර්මයක් නිවන සඳහා වැඩිය යුතුද? අෂ්ට සමාපත්ති, බෝධිපාක්‍ෂික ධර්ම ආදි වර්ධනය කළ යුතු ධර්ම පිළිඳවත්, ඒ වගේම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් ආදි සාක්ෂාත් කළ යුතු ධර්ම පිළිබඳවත් යමක් අසා දැනගත යුතු ද? ඒ අසා දැනගත යුතු සියලු ලෝක ධර්මයන් පිළිබඳව තථාගතයන් වහන්සේ තුළ ගැඹුරු ඥානයක් පහළ වුණා. ලෝක විෂයයන් අචින්ත්‍යයයි. ඒ අචින්ත්‍ය වූ අනන්ත අප්‍රමාණ වූ ලෝක විෂය ධර්මයන් අතරින් යමක් අපි අන් අයගෙන් අසා දැනගත යුතුද, ඒ සියලු ධර්මයන් පිළිබඳව බුදු රජාණන් වහන්සේ තුළ පැවතුණ මහා ප්‍රඥාව ‘සුතමය ඤාණය’ යි.
ඒ බුදු රජාණන් වහන්සේ අසවල් ධර්මය නොදන්නවාය කියලා පෙන්වන්න කිසිවක් නෑ. යමෙක් තමන් වහන්සේ වෙත පැමිණිලා ඕනෑම විෂයයක් පිළිබඳව විමසනව ද? ඒ සෑම දෙයක්ම විසඳා දෙන්නට තරම් ගැඹුරු ප්‍රඥාවක් භාග්‍යවතුන් වහන්සේ තුළ පැවතුණා. මිනිසෙක් හෝ වේවා, දෙවියෙක් හෝ වේවා, බ්‍රහ්මයෙක් හෝ වේවා, තථාගතයන් වහන්සේ හමුවේ යම් පැනයක් විමසනවා නම් නොපැකිළ ඒ පැනය විසඳා දෙන්නට තරම් ගැඹුරු ප්‍රඥාවක් බුදු රජාණන් වහන්සේ තුළ පැවතුණා.
යම් ලෞකික ධර්මයක් ශ්‍රැතියෙන් දත යුතු ද? ඒ සියල්ල පිළිබඳවත්, යම් ලෝකෝත්තර ධර්මයක් නුවණින් ප්‍රත්‍යක්ෂ කට යුතුද? ඒ සියලු ලෝකෝත්තර ධර්මයන් පිළිබඳවත් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව විනිවිද පැවතුණා.
මෙසේ අනන්ත වූ ලෞකික-ලෝකෝත්තර ප්‍රඥාවෙන් ආලෝකවත් වූ, සියලු සත්ත්වයන් තුළ ප්‍රඥා ආලෝකය දල්වන්නට සමර්ථ වූ ඒ මහාප්‍රාඥ සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත වූ සුතමය ඤාණයට මාගේ සිත, කය, වචනය යන තිදොරින් මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!

තෙසැත්තෑ ඥානයන් අතර දෙවැන්න සීලමය ඥානයයි. 
ශීලයයි කියන්නේ සංවරයයි. සිතින් කයින් වචනයෙන් යන තිදොරින්ම සංවර වෙන්නට ඕන. කයින් වචනයෙන් සංවර වුණත් සිතින් සංවර වෙන-එක එතරම් පහසු කාර්යයක් නොවෙයි. බොහෝ දෙනෙකුගේ ශීලය බොහොම සුළු දෙයක් නිසා පළුදු වෙනවා. මිලමුදල් නිසා තමන්ගේ ශික්ෂාපද බිඳගෙන වැරදිවලට යොමු වෙන අය අපි අතර ඉන්නවා. ඒ වගේම තමන්ගේ කයට හානියක් වෙනවයි කියලා දැනුණොත්, තමන්ගේ ඥාතීන්ට විපතක් වෙනවයි කියලා දැනුණොත් අනුන්ට හානි කරන්නට පෙලඹෙන බොහෝ දෙනා අප අතර ඉන්නවා. ඒ කිසිවකින් ශික්ෂාපද කඩ නොකළත් තමන්ගේ ජීවිතයට අන්තරායක් වෙනවයි කියලා දැනුණොත් බොහෝ දෙනා ජීවිතය රැකගන්නට ශීලය පසෙක ලා ක්‍රියාත්මක වෙනවා.
එහෙත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත සසරේ පාරමිතා පුරන අවදියේ දී ශීල පාරමිතාව පිරුවා පමණක් නෙවෙයි, ශීල උපපාරමිතාව සහ ශීල පරමත්ථ පාරමිතාවත් සම්පූර්ණ කළා.
ශීල පාරමිතාවයි කියන්නේ තමන් සන්තක වූ ධන-ධාන්‍ය, කෙත්වතු, ඉඩ-කඩම්, අඹු-දරු, ඥාති-හිත-මිත්‍ර, ගේ-දොර මේ සියල්ලම තමන්ට නැති වුණත් තමන්ගේ සීලය බිඳගන්නේ නැතුව තමන්ගේ කය වචනය සිත සංවර කරගන්නවා, අනුන්ට හානියක් නොවෙන්නට; අනුන්ට මෙන්ම තමන්ටත් අවැඩක් නොවන්නට. අපි බොහෝ වෙලාවට වළක්වාගන්නෙ අනුන්ට වෙන හානිය පමණයි.
ප්‍රාණඝාතය කරන්නට සිතුවිලි පහළ කරන කොටම තමන්ට අවැඩ සිද්ධ වෙලා අවසානයි. අන් සතු දේ හොරාගන්නට සිතන කොටම තමන්ට අවැඩ සිදු වෙලා අවසානයි. ඒ කර්ම විපාකය මෙලොවත් පරලොවත් තමන්ට දුක් පිණිසම පවතිනවා. මේ විදියට ශීලයෙන් තොර වීම, අසංවර වීම තමන්ටත් විපත පිණිස පවතිනවා, අනුන්ටත් විපත පිණිස පවතිනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනන්ත සසරේදී තමන් සන්තක වූ සම්පත් විනාශ වෙනවාය කියලා කවදාවත් ශීලය බිඳගත්තේ නෑ. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ අංග-ප්‍රත්‍යංගයන්ට හානි වෙනවාය කියලා හෝ තමන් වහන්සේගේ ජීවිතයට හානියක් වෙනවාය කියලා හෝ මහ බෝසතාණන් වහන්සේ ශීලය පළුදු කරගත්තේ නෑ.
එක් ආත්මභවයකදී බෝසතාණන් වහන්සේ ඝෝර විෂ ඇති නාගයෙක් වෙලා උපන්නා. අන් අය විසින් ඒ නාග රාජයා අල්ලාගෙන තමන්ට අවැසි අවැසි සේ හසුරුවමින් තළා - පෙළා හිංසා කළත් ඒ තරම් විෂඝෝර සර්පයා තමන්ගේ සංවරයට හානියක් නොකරගෙන ශීලයේ පිහිටා සිටින්නට තරම් ශීල ගුණයෙන් පරිපූර්ණ වුණා.
මේ විදිහට ශීල පාරමිතා, ශීල උපපාරමිතා, ශීල පරමත්ථ පාරමිතා කියන තුන් ආකාරයෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා සර්වඥතා ඥානය සාක්ෂාත් කරමින් උන්වහන්සේ මතු කිසිදාක නොකෙලෙසෙන්නා වූ නොකැඩෙන්නා වූ නොබිඳෙන්නා වූ පළුදු නොවන්නා වූ ශීල ගුණයකට පත් වුණා. ඒ ශීලය පිළිබඳව දත යුතු සියල්ල උන්වහන්සේ දැනගත්තා. ඒ ප්‍රඥාව තථාගතයන් වහන්සේගේ සීලමය ඤාණයයි.
ඒ ශීලය උන්වහන්සේ අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාෂ කියන මේ සතර ආකාර ගුණයෙන් යුක්තව ශීලය සම්පූර්ණ කරගත්තා. අඛණ්ඩ කියන්නේ කොතනකින්වත් උන්වහන්සේගේ සංවරය බිඳුණේ නෑ. අච්ඡිද්‍ර කියන්නේ ඒ සංවරය කොතනකින්වත් සිදුරු වුණේ නෑ. අසබල කියන්නේ තැනින් තැන පළුදු වුණේ නෑ. අකල්මාෂ කියන්නේ කොතනකවත් කිලුටු නොවී උන්වහන්සේගේ ශීලය පරිපූර්ණව ආරක්ෂා කළා.
සීලය කියනකොට අපට සිහි වෙන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වීම, අදත්තාදානයෙන් වෙන් වීම ආදිය ගැන විතරයි. ඒත් යම් කිසි කෙනෙක් ධ්‍යාන මාර්ගඵල ආදිය ලබනව නම් ඒවා මගිනුත් සංවරයකුයි ඇති වෙන්නේ. ප්‍රථමධ්‍යානය මගින් පංච නීවරණයන් යටපත් වෙලා කාමච්ඡන්ද ව්‍යාපාද ථීනමිද්ධ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී පාප ධර්මයන් නිසා අපේ මනස නොසන්සුන් වෙන්නට තිබුණ ඉඩ අහුරලා අපේ මනස සංවර කරනවා. එහෙම නම් ප්‍රථමධ්‍යානය මගිනුත් ශීලය සම්පූර්ණ වෙනවා.ඊළඟට යම්කිසි කෙනෙක් විදර්ශනා භාවනාව කරනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳව දැකීම නිසා ඒ තැනැත්තාගේ කය, වචනය සහ සිත සංවර වෙනවා. එහෙම නම් විදර්ශනා භාවනාව සංවරය හෙවත් ශීලය ඇති කරන එක්තරා ක්‍රමයක්.
ඊළඟට යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙන කොට සක්කාය දිට්ඨී, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහාණය කරලා මානසික සංවරය ඇති කරනවා. සකෘදාගාමි මාර්ගයෙන් කාමරාග පටිඝ දෙක තුනී කරනවා. අනාගාමි මාර්ගයෙන් ඒ සංයෝජන දෙක ප්‍රහාණය කරනවා. අර්හත් මාර්ග ඥානයෙන් අනන්ත සසරේ භවයෙන් භවය ඉපදෙමින් මැරෙමින් පවතින්නට හේතු වූ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන මේ උද්ධංභාගිය සංයෝජන පහම ප්‍රහාණය කරලා නැවත කිසිදාක මේ සසර ගමනේ නූපදින ආකාරයෙන් සකලක්ලේශයන් ප්‍රහීණ කරලා උත්තරීතර වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නවා.
යම්කිසි උතුමෙක් සකලක්ලේශයන් ප්‍රහීණ කර නිවන් අවබෝධ කරගනීද, ඒ උතුමන් වහන්සේලා බාහිර වස්තුව නිසා කිසිදාක තමන්ගේ සංවර භාවය බිඳගන්නේ නෑ; තමන්ගේ අංග-ප්‍රත්‍යංග නිසා කවදාවත් සංවර භාවය බිඳගන්නේ නෑ; තමන්ගේ ජීවිතය නිසාවත් සංවර භාවය බිඳගන්නේ නෑ. මුගලන් මහරහතන් වහන්සේ වැනි උතුමන් ජීවිතය විනාශ වෙද්දීවත් තමන්ගේ සංවරය බිඳගත්තේ නෑ. ඒ කුමක් නිසාද? අර්හත් මාර්ග ඥානයෙන් සංවරය ස්ථාවරව පිහිටා තියෙන නිසා.
බුදු රජාණන් වහන්සේගේ සංවරය ඊටත් වඩා ගැඹුරුයි. උන්වහන්සේගේ ශීලය ඊටත් වඩා පුළුල්. අන්‍ය රහතන් වහන්සේලාට සංසාරයේ පුරුදු කළා වූ හොඳ නරක ඇබ්බැහි තියෙනවා. ඒකට අපි කියනවා වාසනා ගුණය කියලා. ඒ වාසනා ගුණය ඉතිරි වෙනවා අනෙකුත් රහතන් වහන්සේලාට. ඒත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සිත කය වචනය කොතරම් ශීලය තුළ ස්ථාවර වුණාද කියනවා නම් සම්බුද්ධත්වයෙන් පසුව කිසිදාක සසර පුරුදු, සසර ඇබ්බැහි නැවත මතු වෙලා එන්නේ නෑ. ඒ නිසා අපි කියනවා බුදු රජාණන් වහන්සේ සවාසනා සකලක්ලේශයන් ප්‍රහීණ කළා කියලා. කෙලෙස් ධර්ම විතරක් නෙමෙයි සසර ගමනේ පුරුදු කර තිබූ සෑම පුරුද්දක්ම උන් වහන්සේ ඉවත් කරලා තමන්ගේ සිත කය වචනය කියන තිදොරම සංවර කරගත්තා.
ඒ සංවරය ඇති කරන්නට අවශ්‍ය ප්‍රඥාව උන්වහන්සේ තුළ පැවතුණා. මෙන්න මේ විදිහටයි ශීලය කෙලෙසෙන්නේ, මේ විදිහටයි ශීලය තහවුරු වෙන්නේ, ශීලය දියුණු වෙන්නේ, මේ විදිහටයි ශීලය නොබිඳී පවත්වන්නේ කියන මේ සියලු කරුණු පිළිබඳව උන්වහන්සේ සතු ප්‍රඥාව සීලමය ඥානයයි.
තමන් වහන්සේ ශීලය මත පිහිටා, සීලමය ඥාණයෙන් යුතුව අන් සියලු සත්ත්වයන්ගේ සංවර භාවය පිණිස, ශීලය පිණිස දහම් දෙසුවා වූ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ හිත, කය, වචන යන තිදොරින් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

තෙසැත්තෑ ඥානයන් අතර තුන් වැන්න සමාධි භාවනාමය ඥානයයි.
සමාධිය කියන්නෙ එකඟ බව. භාවනාව කියන්නේ දියුණු කිරීම. ඒකාග්‍රතාව දියුණු කිරීම පිළිබඳව තථාගතයන් වහන්සේ තුළ පැවතුණ අනන්ත ප්‍රඥාව සමාධි භාවනාමය ඥානය ලෙස සඳහන් වෙනවා. ඒ සමාධියෙ නොයෙකුත් ප්‍රභේදයන් තියනවා. බුදු රජාණන් වහන්සේගේ සමාධිය එක් අරමුණක් පිළිබඳව පමණක් නෙමෙයි. විවිධ අරමුණු පිළිබඳව එකඟ බවක් ඇති කරගන්නට උන්වහන්සේ සමත් වුණා.
එහෙත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සමාධිය පිළිබඳ ඥානය ඕනෑම අරමුණක් මූලික කරගෙන පැවැත්විය හැකියි. දස අශුභ, දස අනුස්සති, දස කසිණ ආනාපාන සතිය ආදි සියලු කර්මස්ථාන මූලික කරගෙන තථාගතයන් වහන්සේ ප්‍රථමධ්‍යාන, ද්විතීයධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්‍යාන ආදි ධ්‍යානයන් උපදවන්නට සමත් වුණා. උන්වහන්සේගේ සමාධියට බාධා වන කිසිම අරමුණක් මිහිතලයේ දකින්නට හෝ මතු කරන්නට පුළුවන් කමක් නෑ. මනසට අරමුණු වෙන්නා වූ ඕනෑම කරුණක් පදනම් කරගෙන චිත්ත ඒකාග්‍රතාව ඇති කරන්නට තථාගතයන් වහන්සේ සමත් වුණා. උන්වහන්සේට එහෙම කරන්නට හැකියාව ලැබුණේ සමාධි භාවනාව පිළිබඳව, එහෙම නැත්නම් කුසල ඒකාග්‍රතාව දියුණු කිරීම පිළිබඳව සම්පූර්ණ ප්‍රඥාව පැවතුණ නිසයි. බොහෝ දෙනෙකුට කෙටිකලක් එකඟ බව පවත්වාගන්න හැකි වුණත් වැඩි කාලයක් එය පවත්වාගන්නට බෑ. එයට හේතුව තමයි සමාධිය පිළිබඳ හේතු නොදැනීම.
භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඕනෑම අරමුණක සමාධිය ඇති කරගන්නට හේතු වන කරුණු මැනවින් අවබෝධ කරගත්තා. ඒ නිසා උන්වහන්සේගේ සමාධි ඥානය කිසිම මොහොතක පරිහානියට පත් වුණේ නෑ. සෑම මොහොතකම එක හා සමාන සමාධියකින් කටයුතු කරන්නට බුදු රජාණන් වහන්සේ සමත් වුණා. ඇතැම් කෙනෙකුට භාවනා කරන මොහොතේ සමාධිය ඇති කරගන්න හැකි වුණත් දෛනික වැඩ කටයුතු කරන කොට සමාධිය පවත්වාගන්නට බෑ. දෛනික වැඩකටයුතු කරනකොට සමාධිය පැවැත්වූවත් කතා-බහ කරන කොට, දහම් දෙසන කොට සමාධිය පවත්වන්නට බෑ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ එක් තැනක වාඩි වී ධර්මය අරමුණු කරනකොටත් උන්වහන්සේගේ මනසේ අචල සමාධියක් පැවතුණා. දෛනික කටයුතුවල යෙදෙන අතරේ සමාධිය එලෙසින්ම පැවතුණා. දහම් දෙසද්දී, අන් අයට උපදෙස් දෙද්දී, පිඩුසිඟා වඩිද්දී, ප්‍රාතිහාර්ය දක්වද්දී මේ සියලු කටයුතු තුළ සෑම මොහොතකම අඛණ්ඩ වූ අචල සමාධියක් තථාගතයන් වහන්සේ තුළ පැවතුණා. එබඳු සමාධියක් පවත්වාගන්නට හැකි වුණේ ඒ සමාධිය පිරිහෙන්නේ කෙබඳු කරුණුවලින් ද කියලා උන්වහන්සේ මැනවින් අවබෝධ කරගෙන තිබුණ නිසයි.
ඒ වගේම ප්‍රථමධ්‍යාන සමාධියෙන් ද්විතීයධ්‍යාන සමාධියට, ද්විතීයධ්‍යාන සමාධියෙන් තෘතීයධ්‍යාන සමාධියට, තෘතීයධ්‍යාන සමාධියෙන් චතුර්ථ ධ්‍යාන සමාධියට, එතැනින් ආකාසානඤ්චායතන ආදි සමාපත්තිවලට ඉහළට ඉහළට ඒකාග්‍රතාව වඩවන්නේ කොහොමද කියලා උන්වහන්සේ මැනවින් ප්‍රගුණ කර තිබුණා. සමාධිය පිරිහෙන්නේ කොහොමද, සමාධිය පවත්වන්නේ කොහොමද, සමාධිය ඉදිරියට ඉදිරියට දියුණු කරන්නේ කොහොමද කියලා තථාගතයන් වහන්සේ මැනවින් අවබෝධ කරගෙන තිබුණා.
මේ සෑම කාරණයක් පිළිබඳවම පැතුරුණු පුළුල් ප්‍රඥාවක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සතුව පැවතුණා. ඒ නිසා උන්වහන්සේ බෝධි මූලයේදී සර්වඥතා ඥානය සාක්ෂාත් කරගත්තේ යම් මොහොතකද, එතැන් පටන් වසර හතළිස් පහක් ඇවෑමෙන් පිරිනිවන් මඤ්චකයේ පරිනිර්වාණයට පැමිණි මොහොත දක්වා සෑම මොහොතකදීම වෙනස් නොවන අචල සමාධියක් උන්වහන්සේ සතුව පැවතුණා. එසේ සමාධිය දියුණු කිරීම හා පැවැත්වීම පිළිබඳ ප්‍රඥාව “සමාධි භාවනාමය ඥානය” යි.
ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ සමාධිය වඩන්නට දක්ෂ වුණා පමණක් නෙමෙයි, අන්‍ය සත්ත්වයන්ට ඒකාග්‍රතාව දියුණු කරන්නට මාර්ගය කියා දුන්නා. සතර සතිපට්ඨානය තුළින් මනස වඩන්නේ කොහොමද? සතළිස් කර්මස්ථානයන් තුළ ඒකාග්‍රතාව වඩන්නේ කොහොමද? සන්සුන්ව වාඩි වී සිටියදී එකඟ බව වඩන්නේ කොහොමද? සක්මන් කරද්දී, දහම් දෙසද්දී, දහම් අසද්දී, එකඟ බව පවත්වාගන්නේ කොහොමද? කියලා ඒ තථාගතයන් වහන්සේ මැනවින් දේශනා කළා. තමන් වහන්සේ සමාධිය පිළිබඳව අවබෝධ කරගත යුතු තාක් සියලු ධර්මයන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන, ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්නට නිවැරදි මඟ පෙන්වූ තථාගත සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාවට මාගේ සිත කය වචනය යන තිදොරින් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

තෙසැත්තෑ ඤාණ අතර සිව් වැන්න ධම්මට්ඨිති ඤාණයයි. 
මේ ලෝකය තුළ සිදු වන සිදුවීම්වලට, එහෙම නැත් නම් සංසාර ප්‍රවෘත්තියට හේතු පිරිසිඳ දැනගැනීමේ ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණයයි.
මේ ලෝකයේ බොහෝ දේවල් සිදු වුණත් අපිට ඒ හැම දෙයක්ම සිදු වන හේතු නිවැරදිව හඳුනාගන්නට පුළුවන්කමක් නෑ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝක තත්ත්වය මැනැවින් අවබෝධ කරගත් නිසා උන් වහන්සේට නොදැනෙන්නා වූ නොවැටහෙන්නා වූ කිසිවක් මේ ලෝක ධාතුව තුළ ඇත්තේ නෑ. කායික හෝ වේවා මානසික හෝ වේවා පාරිසරික හෝ වේවා යම් කි‍්‍රයාවලියක් ලෝකය තුළ සිදු වෙනවා නම්, ඒ සෑම දෙයක්ම සිද්ධ වන හේතු තථාගතයන් වහන්සේ මැනැවින් අවබෝධ කරගත්තා; ලෝකය මෙහෙමයි නිර්මාණය වෙන්නේ. එයට හේතුව මේකයි කියලා අවබෝධ කරගත්තා. අපට එදිනෙදා ජිවිතයේදී බොහෝ කම්කටුලු දුක්පීඩා පැමිණුණත් ඒවා කෙසේ සිද්ධ වෙනවාද කුමකින් උපදිනවාද කියලා නිවැරදිව නොදන්නා නිසා බොහෝ වෙලාවට අපිට ඇති වන ගැටලුවලට නිවැරදි විසඳුම් සොයාගන්න අපිට බැරි වෙනවා.
බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ඕනෑ ගැටලුවක් නිරාකරණය කරගන්නට නම් එහි හේතුව නිවැරදිව හඳුනාගන්නට ඕන. අපට හිසේ කැක්කුමක් හැදුණත් උණක් සෙම්ප්‍රති්‍යාවක් හැදුණත් ඒක දුරු කරන්නට නම් ඒක ඇති වුණේ කොහොමද කියලා නිවැරදිව වටහාගන්න ඕන.
ඇතැම් වෙලාවට පිත කිපීම නිසා සෙම ඇවිස්සෙනවා. ඇතැම් වෙලාවට ආපෝ ගුණය බහුල වීම නිසා සෙම ඇවිස්සෙනවා. මේ කුමකින්ද සෙම් කෝපය මතු වුණේ කියලා හරියට දන්නා කෙනකුට පමණයි ඒ රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන් වෙන්නේ. කායික රෝග පීඩා පමණක් නොවෙයි, දහසකුත් එකක් මානසික රෝගයන්ගෙනුත් මේ පෘථග්ජන සත්ත්වයා දුක් විඳිනවා. මෙලොව පමණක් නෙමෙයි අනන්ත සසරෙහි දුක් විඳිනවා. ඒත් අපි හැම කෙනෙක්ම කැමැතියි සුව සේ ජීවත් වෙන්නට. අපි අකැමැති වුණත් අසනකාරී රෝගපීඩාමයි අප වෙත පැමිණෙන්නේ.
ඇයි එහෙම වෙන්නේ? ඒ දුක් පීඩා ඇති වන හේතුව නිවැරදිව වටහාගෙන නැති නිසා. එය නිවැරදිව හඳුනාගත්තොත් පමණයි, දුක ශෝකය අසහනය දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. බුදු රජාණන් වහන්සේ අනන්ත සසරෙහි පාරමිතා සම්පූර්ණ කරද්දී මේ කය රෝගී වෙන්නේ කොහොමද, සිත රෝගී වෙන්නේ, ගැටලු මතු වෙන්නේ, චිත්ත පීඩා ඇති වෙන්නේ කවර ආකාරයෙන්ද කියන මේ හැම දෙයක්ම මැනවින් අවබෝධ කරගත්තා; ඒ විතරක් නෙමෙයි මේ අනන්ත සසරේ භවයෙන් භවය ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන මහා දුක්ඛයක් බවත් අවබෝධ කරගත්තා. අපටත් එක්තරා ප්‍රමාණයකට වැටහෙනවා මේ සසර ගමන දුකයි කියලා. ඒත් ඒක නවත්වන්නට වැටහෙන්නේ නෑ. කෙනෙකුගේ මරණයෙන් අපි බොහෝ චිත්ත පීඩා ඇති කරගන්නවා. ඒත් ඒ තැනැත්තා මැරුණේ මොකක් නිසාද කියලා අපට වැටහෙන්නේ නෑ. කුමක් නිසා මරණයට පත් වුණාද කියලා ඇහුවොත් අපි එකවරම කියන්නේ අහවල් අසනීපය නිසා හෝ වයසට යෑම නිසා ඒ තැනැත්තා මැරුණා කියලා.
ඒත් බුදු රජාණන් වහන්සේ දක්වන්නේ: කෙනෙක් මරණයට පත් වීමේ හැබෑ හේතුව උප්පත්තියයි, උපත සිද්ධ නොවුණා නම් කවදාවත් මරණයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මරණය සිදු වුණු මොහොතේ මතු වූ අසනීපයට වඩා ප්‍රබලම හේතුව වෙන්නේ උත්පත්තියයි. යන බවයි. උපත නිසා ජරාව, ව්‍යාධිය, මරණය මේ සියල්ලක්ම හට ගන්නා බව තථාගතයන් වහන්සේ මැනවින් අවබෝධ කරගත්තා.
මේ උපතට කුමක්ද හේතු වෙන්නේ කියලා තථාගතයන් වහන්සේ සොයා බැලුවා. ඒ උත්පත්තිය සඳහා උපාදානයත්, උපාදානය සඳහා තෘෂ්ණාවත්, තෘෂ්ණාව සඳහා අවිද්‍යාවත් හේතු වන බව උන් වහන්සේ සොයාගත්තා. තෘෂ්ණාව ඇති වන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා, නොදැනීම නිසා, මුළාව නිසා, මේ සංසාරයේ තියෙන බිය ජනක බව නොවැටහීම නිසා, නොපෙනීම නොදැනීම නිසා සත්ත්වයා තුළ සසර ගැන තෘෂ්ණාවක් ඇති වෙනවා. අපට ලෙඩක් දුකක් හැදුණාම මේ ජීවිතයෙන් නිදහස් වෙන්නට, එහෙම නැති නම් උප්පත්තියෙන් නිදහස් වෙන්නට ඕන කියලා අපට හිතෙන්නේ නෑ. අපට හිතෙන්නෙම මේ රෝගය සුව කරගෙන නීරෝගීව ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. එසේ උත්සාහ කරන තාක් අපි සසරට බැඳෙනවා. ජීවිතය පවත්වන්නට ඕන කියල හිතෙන තාක් අපි නැවත නැවත උපදිනවා. නැවත නැවත උපදින තාක් අපට ජරාව රෝග පීඩා මරණය මේ කිසිවකින් නිදහස් වෙන්නට පුළුවන්කමක් නැහැ.
ඒ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්ත්වයින්ට තියෙන ලොකුම ගැටලුව, ලොකුම දුක තමයි භවයේ ඉපදීම. ඒ ඉපදීමට ප්‍රධාන හේතුව තෘෂ්ණා උපාදානයයි. තෘෂ්ණාව ඇති වීමට ප්‍රධාන හේතුව මේ සංසාර දුක්ඛය පිළිබඳව නොවැටහෙන්නා වූ අවිද්‍යාව නිසා තථාගතයන් වහන්සේ මේ සංසාර ප්‍රවෘත්තියට හෙවත් සංසාර උපදවන්නට මූලික හේතුව අවිද්‍යාව බව දේශනා කළා. මෙසේ සියලු ධර්මයන් පිළිබඳ හේතු ප්‍රත්‍ය පිරිසිඳ දැනගන්නා නුවණ ධම්මට්ඨිති ඤාණයයි.
මේ අවිද්‍යාව පහළ වුණේ කුමකින් ද? ඒක දෙවියන් මැව්වා නෙමෙයි, සංස්කාර හේතුවෙන් අවිද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව හේතුවෙන් නැවත සංස්කාර පහළ වෙනවා. නැවත සංස්කාර පවතින තාක් අවිද්‍යාව ඇති වෙනවා. මෙසේ අඛණ්ඩව සංසර ගමන පවතින බව තථාගතයන් වහන්සේ මැනවින් අවබෝධ කරගත්තා. මේ සියලු හේතූන් හා හේතුවෙන් උපදින්නා වූ ඵලයන් කියන දෙක නුවණින් වටහාගෙන ඒ හේතු තවත් හේතූන්ගේ ඵලයක් වශයෙන් උපදින බව බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. අඹ ගෙඩියක් ලැබෙන්නේ අඹ ගස නමැති හේතුව නිසා. අඹ ගහක් ලැබුණේ අඹ ගෙඩිය නමැති හේතුව නිසා. එකින් එකට අන්‍යොන්‍ය වශයෙන් ප්‍රත්‍ය වීමෙන් ලෝකය පවතිනවා. මේ හේතු ප්‍රත්‍යය මැනවින් පිරිසිඳ දැනගන්නා වූ මහා ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණයයි.
අපට සමහර විට එක් දෙයක් පිළිබඳ හේතුව වටහාගන්නට පුළුවන්. මීට හේතුව මේකයි කියල. සුළු කාරණයක් ගත්තහම අපට ඒක වැටහෙනවා. ඒත් මනසේ පහළ වන ගැඹුරු ධර්මයන් පිළිබඳව අපේ වැටහීම ඉතා අල්පයි. සසර පැවැත්ම පිළිබඳව අපේ වැටහීම ඉතා අල්පයි. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ භෞතික ලෝකයේ පැවැත්ම පිළිබඳවත්, සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳවත්, මානසික ධර්මයන් පිළිබඳවත් භවයෙන් භවය ඉපදෙමින් හේතු සොයමින් අවබෝධ කරගත්තා. පැවැත්ම නිමා කොට නිර්වාණයෙන් සසර ගමන නිමා කරන ආකාරයත් ප්‍රත්‍යක්ෂවම අවබෝධ කරගත්තා.
ඒ ධම්මට්ඨිති ඤාණයෙන් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන් දේශනා කළා වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට, දුක පිළිබඳව සැබෑ හේතුව දැනගෙන ලෝකයාට මැනවින් දේශනා කරමින් අනන්ත සත්ත්වයන් තුළ අවිද්‍යාව නමැති ඝනාන්ධකාරය දුරු කරමින් ප්‍රඥාවේ ආලෝකය ලොවට ප්‍රදානය කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ සිත, කය, වචනය යන තිදොරින් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

තෙසැත්තෑ ඤාණයන් අතර පස් වැනි ඤාණය සම්මස්සන ඤාණයයි. 
තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ සතුව පැවතුණ අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයටම අයිති සියලු නාම-රූප ධර්මයන් පිළිබඳව ත්‍රිලක්ෂණ හා හේතුඵල වශයෙන් විමසා බැලීමේ මහා ප්‍රඥාව සම්මස්සන ඤාණය වශයෙන් සඳහන් වෙනවා.
ත්‍රිලක්ෂණ කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. සෑම සත්ත්වයෙක්ම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, කියන පංචස්කන්ධය ඇතිව නැවත නැවත මැරෙමින් ඉපදෙමින් අනන්ත සසරේ දිගු කාලයක් පවතිනවා. මෙසේ පවතින්නා වූ සෑම සත්ත්වයෙකුගේම රූප, වේදනා ආදී පංචස්කන්ධය සෑම ක්ෂණයකදීම උපදිමින් ක්ෂය වෙමින් අභාවයට යනවා. ඒක තව කෙනෙකුගේ ඕනෑකමටවත් අපේ ඕනෑකමටවත් සිදු වෙනවා නොවෙයි; තව කෙනෙකුගේ හෝ අපේ ඕනෑකමට නවත්වන්නට පුළුවන් දේකුත් නෙමෙයි. සෑම නාම රූප ධර්මයකටම උරුම වූ පොදු ලක්ෂණයක්. එය ත්‍රිලක්ෂණ ධර්මයන් අතර මූලික ධර්මතාවයි.
මේ අනිත්‍ය ලක්ෂණයට සියලු නාම-රූප ධර්මයන් ඇතුළත් වෙනවා. ඕනෑම දෙයක් හට ගත්තහම ඒක ක්ෂය වෙලා අභාවයට යනවා. ඒ අතරතුරේ යම් යම් වෙනස් වීම් ප්‍රකට වෙනවා. මේ අනිත්‍ය ලක්ෂණයේ ස්වභාවයයි. දරුවෙක් උපදිනවා. උත්පත්තියක් පෙනෙන්න තියෙනවා. යම් දිනක අභාවයට උපදිනවා. උත්පත්තියක් පෙනෙන්න තියෙනවා. යම් දිනක අභාවයට යනවා. මිය යෑමක් පේන්නට තියෙනවා. ඒ අතරතුරේ ළමා වියට, තරුණ වියට, මැදිවියට, මහලු වියට ආදි වශයෙන් මේ රූපකාය යම් යම් වෙනස්කම්වලට භාජනය වෙනවා. මේ ස්වභාවය බුදු රජාණන් වහන්සේ අනිත්‍ය ලක්ෂණයයි කියලා දේශනා කළා.
අපිට ඇහැට පෙනෙන රූප කාය පමණක් නෙමෙයි, අපේ මනසත් මේ විදිහටම වෙනස් වෙනවා. උදෑසන නින්දෙන් අවදි වෙන කොට කවර ආකාරයෙන් අපේ මනස පැවතුණත් කාර්යාලයේ වැඩවල යෙදෙන කොට මහමඟට බැස්සහම, පන්සලට ආවහම, දූ-දරුවන්ගේ කටයුතුවල යෙදෙන කොට, දෛනික වැඩකටයුතුවල යෙදෙන කොට, විවිධ ස්වභාවයන්ට පත් වෙනවා. ටිනිසුන්ට හැම මොහොතේම එක හා සමාන මානසික තත්ත්වයකින් පවතින්නට බැරි වෙන්නේ මේ අනිත්‍ය ලක්ෂණය නිසයි. ඇතැම් වෙලාවකට මහා පීඩාවෙන් දුකකින් අසහනයකින් පවතින්නට සිද්ධ වෙනවා. අන්න ඒකට හේතුව මානසික ධර්මතාවන්ගේ අනිත්‍ය ලක්ෂණයයි.
යම් මොහොතක ශ්‍රද්ධාව පහළ වෙනවා. සැණෙකින් එය අහෝසි වෙලා වෙනත් මනෝභාවයක් මතු වෙනවා. ඇතැම් අවස්ථාවක දාන චේතනා පහළ වෙනවා. සැණෙකින් එය අතුරුදන් වෙලා මසුරු භාවය මනසේ මතු වෙනවා. මේ විදිහට අපේ සන්තානයේ සෑම චිත්ත චෛතසිකයක්ම ක්ෂණයක් පාසා උපදිමින් අභාවයට යනවා. මේ ධර්මතාව ඉක්මවා කිසිවෙකුට ලෝකයේ පවතින්නට පුළුවන් කමක් නෑ. පෘථග්ජන සත්ත්වයාගේ පටන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්වා සියලු සත්ත්වයන්ට, සියලු නාම-රූප ධර්මයන්ට මේ අනිත්‍යතාව උරුම වූ පොදු ලක්ෂණයක් බව බුදු රජාණන් වහන්සේ මැනවින් අවබෝධ කරගත්තා. උන් වහන්සේ මේ පෙනෙන්නට තියෙන ධර්මයන් පිළිබඳව පමණක් නෙමෙයි අතීත අනාගත සියලු නාම-රූප ධර්මයන් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත බව මැනවින් අවබෝධ කරගත් නිසා සම්මස්සන ඤාණයෙන් සම්පූර්ණයි.
ඒ වගේම මේ සියලු නාම-රූප ධර්මයන්ට ආවේණික වූ තවත් එක්තරා ලක්ෂණයක් තමයි දුක්ඛ ලක්ෂණය. කුමක්ද මේ දුකයි කියලා කියන්නේ? රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන මේ නාම රූප ධර්මයන් නිරන්තරයෙන්, සත්ත්වයාට බිය ගෙන දෙනවා, පීඩා ගෙන දෙනවා; අපහසුව ඇති කරනවා. ඒ වගේම හේතුප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා නිසා නැවත නැවත උපදවන්න වෙනවා. කොතෙක් වෙහෙසී උපදවාගත්තත් වහාම වෙනස් වෙනවා. මෙබඳු කරුණු දුක්ඛයේ ලක්ෂණ බව තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා.
එහෙත් මේ පඤ්චස්කන්ධය දුක බව අපට වැටහෙන්නට බොහෝ කාලයක් ගත වෙනවා. චිත්ත පීඩා, කායික පීඩා ඇති වෙන කොට ඊට හේතු වශයෙන් වෙනත් වෙනත් බාහිර කරුණුයි අපි දකින්නේ. අපිට චිත්ත පීඩාවක් ඇති වු
ණොත් අන් අයගේ වරද ගැනයි අපි කල්පනා කරන්නේ. තව කෙනෙක් අපේ කැමැත්තට අනුව කටයුතු නොකරන නිසයි අපට මේ පීඩාව ඇති වන්නේ කියලා අපි කල්පනා කරනවා. ඒත් බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත්තා අන් අය නිසා නෙමෙයි අපට දුක් ඇතිවෙන්නේ, දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයක් ඇතිව ඉපදිලා ඉන්න නිසයි. අපේ කැමැත්තට අනුව ලෝකය පවත්වන්නට උත්සාහ කිරීම නිසා දුක ඇති වෙනවා විනා, ලෝකයේ වරදක් නිසා නෙවෙයි අපිට දුක් පීඩා ඇති වෙන්නේ.
ඒ නිසයි මේ සියලු සංස්කාර ධර්මයන් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. කුමක්ද අනාත්ම ලක්ෂණය කියන්නේ? තමන්ගේ කැමැත්තට අනුව පවත්වන්නට පුළුවන්කමක් නෑ. හේතුප්‍රත්‍යයෙන් හට ගෙන අභාවයට යනවා විනා දෙවියෙකුගේ කැමැත්තටවත් බ්‍රහ්මයෙකුගේ කැමැත්තටවත් අපගේ කැමැත්තටවත් අන් කෙනෙකුගේ කැමැත්තටවත් අනුව පවතින්නේ නෑ. ආත්ම ස්වභාවය මේ කිසිම ධර්මතාවක නෑ. අනන්ත සංසාරයේ ඇති කළා වූ අවිද්‍යාව තෘෂ්ණාව කර්මය ආදී හේතුවලින් මේ භවය පවත්වාගෙන යනවා. මේ නාම-රූප ධර්මයන් ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙමින් පවතිනවා. එසේ පවතිමින් නැවත නැවත අවිද්‍යාව තෘෂ්ණාව උපාදානය ඇති කරමින් අනාගත භවය ගොඩනගනවා.
නැවතත් උත්පත්තිය ලබලා දුක් සැප ආදිය විඳිමින් නැවත නැවත අවිද්‍යාව තෘෂ්ණාව කර්ම උපාදාන ඇති කරමින් ඊළඟ භවයට මූලික ශක්තිය උපදවනවා. මේ විදිහට ලෝක සත්ත්වයා භවයෙන් භවයට යනවා විනා මේ සංස්කාර ධර්මයන් පාලනය කරන්නට සමතෙක් මිහිතලයේ ඇත්තේ නෑ. එසේ පාලනය කළ හැකි ස්වභාවයක් ඒ තුළ ඇත්තෙත් නෑ. කිසිම නාම-රූප ධර්මයකට තවත් ධර්මයක් තමන්ගේ කැමැත්තට අනුව පාලනය කිරීමේ ශක්තියක් නෑ. ඒ සෑම නාම-රූප ධර්මයක්ම හේතුඵල ධර්මතාවට අනුව සංස්කාර ධර්යන් අඛණ්ඩව පවතිනවා.
මේ විදිහට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයටම අයත් සියලු නාම-රූප ධර්මයන් හේතු-ඵල ධර්මතාව හා ත්‍රිලක්ෂණය තුළින් විනිවිද දක්නා වූ විමසා බලන්නා වූ ගැඹුරු ප්‍රඥාව තථාගතයන් වහන්සේ සම්මස්සන ඤාණයයි.
ඒ සම්මස්සන ඤාණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ සිත කය වචනය යන තිදොරින් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!
.