භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

තථාගතයන් වහන්සේගේ අසිරිමත් දින චරියාව

මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති,
කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි

මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මහා දාර්ශනිකයාණෝ ගෞතම බුදුරජාණන් වහන්සේම ය. උන්වහන්සේට කරුණාවෙන් සිහිල් වූ හදමඬලක් ඇති සේක. (කරුණාසීතලහදයං) ඇවිලගත් ප්‍රඥා ලෝකයෙන් නසන ලද මෝහාන්ධකාරය ඇති සේක. (පඤ්ඤාපජ්ජෝත විහතමෝහතමං) සනරාමර ලෝකගුරු වූ සේක. (සනරාමර ලෝකගරුං) භවගතීන්ගෙන් මිදුනා වූ සුගත තථාගතයාණන් වහන්සේ සසර මං මුළාවූවන්ට සුන්දර වූ ගමන නොහොත් නිර්වාණ ධර්මය පෙන්වා දුන් සේක.
ලෝකයේ සෑම තැනම උන්වහන්සේගේ සදහම් සිසිලස ගලා ගියේය. කරුණාවේ ප්‍රතිමූර්තියම වූ මහා කාරුණික තථාගතයාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ම පෙරුම්දම් පිරුවේ මහාකරුණාවෙන් මෙහෙයවනු ලැබූ සිතින්ම ය. මහා කරුණාවෙන් මෙහෙයවනු ලැබූ සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ සසර මඩ වගුරින් සත්ත්වයා ගොඩ ගනු පිණිස බුදු බව සඳහා සිත් ඇති සේක් අනුපිළිවෙලින් පෙරුම්දම් පුරා 
අනුත්තර වූ සම්මා සම්බෝධි ඥානය සාක්ෂාත් කරන ලද බැවින් කරුණාව බෝධියට මූලය විය. සම්බෝධියේ සිට පුරා පන්සාලිස් වසක් තිස්සේ ලෝක සත්ත්වයාට නිවන ම දේශනා කරමින් ජීවමානව වැඩ සිටි සේක. සම්බුදු රජාණන් වහන්සේගේ ජීවිත කාලයම කැප කොට ඇත්තේ පරාර්ථ චර්යාවම අරමුණු කරගෙන ය. පරාර්ථ චර්යාව නම් වූ උත්තුංග මිනිස් ගුණය මඟින් ලෝකයා වෙත සර්වාකාර සේවයක් කරලීම සඳහා තථාගතයාණන් වහන්සේ දෛනික ජීවිතයේ දවස කොටස් පහකට බෙදා වෙන් කරගෙන කටයුතු කළ ආකාරය උන්වහන්සේගේ අසිරිමත් දින චරියාවෙන් මනාව ප්‍රකට කරගත හැකිය. එකී දින චරියාව මෙසේය.

(1) පෙරබත් කිස (2) පසුබත් කිස
(3) පෙරයම් කිස (4) මැදියම් කිස
(5) පැසුළුයම් කිස වශයෙනි.
දින චරියාවේ ප්‍රථම කාල පරිච්ඡේදය “පෙරබත් කිස” ය. කාල පරාසය වන්නේ පෙරවරු 6 සිට දවල් 12 දක්වා ය. මෙහි දී බුදුරජාණන් වහන්සේ අවදිව මුව දෝවන කොට පැයක පමණ නිරෝධ සමාපත්තියට සමවදිති. දෙවන පැයෙහි මහාකරුණා සමාපත්තියට සමවදිති. එහිදී දහම් අසා සැනසීමට පින් ඇත්තවුන් ගැන විමසා බලති. එවැනි සමාර්ථය සහිත පුද්ගලයෙකු බුදු කරුණාවට හසුවුවොත් පා ගමනින් හෝ සෘර්ධියෙන් වැඩම කරවන්නේ අපරිමිත මහා කරුණාවකිනි. පිහිට විය යුතු වාසනා ශක්තිය ඇති අයෙකු නො දුටුවහොත් දෙවැනි පැයද නිරෝධ සමාපත්තියෙන් ම ගත කොට බොහෝ දෙනාට පින් සිදුකරලීමට මාර්ගය සලසාලමින් සුදුසු කාලයෙහි මහ මඟ ගම් දනව් නගර සිසාරා පිඬු පිණිස වැඩම කරති.
මින් අනතුරුව එළඹෙන්නේ දවල් 12 සිට 6 දක්වා පවතින “පසුබත් කිස” කාලයයි. “පෙරබත් කිස” නිමවා වෙහෙරට වැඩි බුදුරජුන් භික්ෂූන්ගේ ආධ්‍යාත්මික ගමන බලවත් කරලීමට අවශ්‍ය ඕවාද සහ අනුශාසනා දේශනා පැවැත්වීම සිදු කරති. එසේම විවිධ චරිත ඇති අයට ඒ ඒ චරිත අනුව චරිතයානුකූල කමටහන් දෙමින් චිත්ත සංවර්ධනය සඳහා මඟ පෙන්වති. එසේම භික්ෂූන් හට ඇති විවිධ දහම් ගැටළුවලට පිළිතුරු ලබාදීම ද සිදුවේ. අනතුරුව ගඳකිළියට වඩින තථාගතයාණන් වහන්සේ මදක් සැතපී මහා කරුණා සමාපත්තියට සමවදිති. නැවතත් ශ්‍රාවක සංඝයාගේ හිතසු පිණිස කරුණාවෙන් දම් දෙසති. ඇතැම් විට බැහැරට යා යුතු නම් කොපමණ දුරක අදාළ පුද්ගලයා සිටිය ද බුදුපියාණන් වහන්සේ එහි වැඩම කොට මාර්ගය පෙන්වීම සඳහා කාලය කැප කරති. සවස් වනවිට සිව්වනක් පිරිස ම එකතු කොට දම්සභා මණ්ඩපයෙහිදී මනරම් දේශනාවන් පවත්වති. එසේම මෙහිදී විවිධ පැන විමසුම් හා විසඳීම ද සිදුකෙරේ. කොපමණ විශාල පිරිසක් පැමිණ සිටියද, ඒ හැම දෙනාට ම මිහිරි බණ නො අඩුව ශ්‍රවණය කරන්නට අවකාශ ලැබීම විශේෂ ලක්ෂණයකි.
විවිධාකාර මනෝභාවයන් හා නානාවිධ ගති ලක්ෂණ සහිත මිනිසුන්ගේ සිතට කාවදින අයුරින් ධර්ම දේශනා පැවැත්වීමෙහිලා බුදුරදුන් විසින් අනුගමනය කරන ලද දේශනා ක්‍රම කිහිපයක්ම ත්‍රිපිටක සාහිත්‍යයෙන් අපට හඳුනා ගැනීමට හැකිය. බුදුරදුන් විසින් ධර්ම දේශනා කළ ආකාර චතුෂ්කයක් පහත පරිදිය.
1. අත්තජ්ඣාසය දේශනා – කෙනෙකුගේ විශේෂ ඇරයුමකින් තොරව තමන් වහන්සේගේම අභිමතය පරිදි දහම් දෙසීමයි. දසධම්ම සූ‍්‍රත්‍රය, සබ්බ සූත්‍රය ආදිය නිදසුන් ය.
2. පරජ්ඣාසය දේශනා - අනුන්ගේ ඇරයුමකට අනුව ධර්මය දේශනා කිරීමයි. මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රාදිය නිදසුන් ය.
3. පුච්ඡාවසික දේශනාව – කෙනෙකු විසින් විමසන ලද විශේෂ දහම් ගැටළුවක් විසඳීමේ අභිමතාර්ථය ඇතිව ය. පරාභව සූත්‍රය, ආලවක සූත්‍රාදිය නිදසුන්ය.
4. ඨානුප්පත්තික දේශනාව- එළඹුණු යම් කරුණක් හෝ අවස්ථාවක් සමනය කිරීම සඳහා එය නිමිති කරගෙන කරනු ලබන දේශනාවයි. ධම්මපදයේ එන නිදාන කථා, ගාථා ආදිය මෙම දේශනා ක්‍රමයට නිදසුන් ය.
ඒ වගේම උක්ත පසුබත් කිස අවස්ථාවේදී විවිධ විෂමාචාර මනෝභාවයන් සහිත පුද්ගලයන්හට හෝ පුද්ගල කණ්ඩායම් වෙත ධර්මය පැහැදිලි කිරීමේදී පැන නැඟුණු ප්‍රශ්න විසඳීමෙහිලා බුදුරදුන් විසින් තවත් ක්‍රමවේදයන් ද භාවිත කොට ඇත. ඒ වගේම සිය දහම් කරුණු පැහැදිලි කිරීමේදී ශාන්තිනායකයාණන් විසින් ඒ ඒ පුද්ගලයන්ගේ මානසික තත්ත්වය, අවබෝධය හා භාවිතය ගැන විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. එසේම ඇතැම් විට ශ්‍රාවක පිරිස ධර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති අය නම් ඔවුනට දාන කථා, සීල කථා, සග්ග කථා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං යනාදි අනුපූර්ව පටිපදාවෙන් දහම් දෙසන සේක. ගෘහපතියනට සමාජ ජීවිතය හා ගෘහාශි‍්‍රත ජීවිතය ආලෝකමත් කර ගැනීමට බණ දෙසති. අන්‍යාගමියෙකු පැමිණ විටදී ඔවුන්ගේ ධර්ම සිද්ධාන්තයන් ප්‍රථමව සාකච්ඡා කොට ඒ අනුසාරයෙන් ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය හෝ පටිච්චසමුප්පාදය ආදීන් වෙතට සිත යොමු කරවා කරුණාවෙන් අවබෝධය කරා මෙහෙයවති. ඇතැම්විට අවස්ථානෝචිත නම් වාදාභිමුඛ වූ අයෙකු සමඟ වාද කරන්නට හෝ තාර්කිකයෙකු සමඟ තර්ක කරන්නට පසුබට නොවෙති. අවබෝධය කරා යන්නෙකුට නම් ඒකායන වූ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරති. තවත් විටෙක අදමය පුද්ගලයින් දමනය කිරීම සඳහා ද වෙනත් සෘද්ධි ප්‍රාතිහාර්යයක් හෝ භාවිත කරමින් කෙසේ හෝ සසර සාගරයේ ගොඩලීමට වෙර දරන්නේ සිය චිත්තාභ්‍යන්තරයෙහි වූ අසහාය කරුණාව හා පරෝපකාරි පරිශුද්ධ චේතනාව නිසාවෙනි. මෙලෙසින් සිය අනුගාමිකයනට විවිධාරයෙන් සදහම් මාවත පෙන්වාදීමෙන් පසුබත් කිස අවසාන භාගයෙහි ශේෂවන කුඩා කාලයක් ගෙන පැන් පහසුවීමට මෙන්ම මද විවේක සුවයක් ලැබීමට කැමැති වන සේක.
”පෙරයම් කිස” සිය තථාගත දින චරියාවේ තෙවන අදියර යි. ඒ සඳහා ගෙන ඇති කාලය වන්නේ සවස 6 සිට 10 දක්වා වූ කාල පරාසය යි. මෙම කාලයද භාවිත කොට ඇත්තේ පරෝපකාරය සඳහාම යි. මෙහිදී බුදුන් වහන්සේ භික්ෂූන්ට දහම් දෙසති. පැන විමසති. උක්ත සියලු අවස්ථාවන් සඳහා අවස්ථාව ලබාදෙන ශාන්තිනායකයාණන් වහන්සේ නැවත ද බවුන් වඩන යෝගාවචරයින්ගේ දුර්වල තැන් කියා දෙමින් කමටහන් වෙනස් කිරීම අලුත් කිරීම හා මඟ පෙන්වා දීම ආදී කටයුතු සඳහාද මෙම කාලයෙහිදී කටයුතු කර ඇත.
සම්බුදු රජුන් වෙතින් සැනසීම බලාපොරොත්තු වූ කාමරූප, අරූප යන භවත්‍රයට ම බුදුරජාණන් වහන්සේ ලෝක ගුරු වූ සේක. මේ නිසාවෙන් ම විවිධ ප්‍රශ්න ගැටළුවලට හෙම්බත්වී සිටි දෙව්,බඹුහු බුදුරදුන් වෙත පැමිණියාහු ය. ඔවුනට දහම් දෙසීමට මැදියම් කිස එනම් රාත්‍රී 10 සිට 2 දක්වා කාලය වෙන්කොට තිබිණි.
අළුයම් 2 සිට 6 දක්වා කාලය හැඳින්වෙන්නේ “පැසුළුයම් කිස” ලෙසිනි. බුදුන් වහන්සේ විසින් මෙයද කොටස් තුනකට බෙදා වෙන් කළ සේක. ප්‍රථම කොටසේ දී බුදු රදුන් සක්මන් කරති. දෙවන කොටසේදී සිංහ සෙය්‍යාවෙන් දෙපැයක් පමණ සැතපෙති. තෙවන කොටසෙහි නැවතත් නිරෝධ සමාපත්තියට සමවදිති. ඉන් අනතුරුව ලෝකයා වෙත මහාකරුණා සමාපත්තියෙන් යුතුව කාරුණික ඇසින් ලෝකයේ දුක් විඳින්නවුන් දෙස බලති.
සම්බුදු රජාණන් වහන්සේගේ පූර්වෝත්කි දින චරියාව සහ තදනුබද්ධ කාර්ය (එයට සම්බන්ධ) සිද්ධීන් විමර්ශනය කිරීමේදී උන්වහන්සේ විවේකය, සැතපීම හා නිවන්සුව විඳීම සඳහා පැය 24 න් වෙන් කොට ඇත්තේ පැය 2 ක් වැනි ඉතා සුළු කාලයකි. අනෙක් පැය 22 ම වෙන්කර ඇත්තේ පරාර්ථ චර්යාව සඳහාම ය. පරෝපකාරීව ලෝකානුකම්පාවෙන් ගම්, දනව්, නගර සිසාරා භාග්‍යවතුන් වහන්සේ වඩිමින් ලෝක සත්ත්වයා දුකින් මුදවාගෙන ඇත.
.