භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

බුදුරදුන්ගේ ගුරු භූමිකාව

මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි

“ඒ භාග්‍යවතුන් වහන්සේ වූ කලී සත්‍ය අවබෝධ කළ සේක්, සෙස්සන්ට ද එය අවබෝධ කරවනු පිණිස දහම් දෙසති. වටහාගත් දහමින් හික්මීම ලද උන්වහන්සේ, සෙස්සන්ට ද එකි හික්මීම උදා කරනු පිණිස දහම් දෙසති. උසස් හික්මීමෙන් ශාන්ත බවට පත් උන්වහන්සේ සෙසු ප්‍රජාවද එසේ ශාන්ත බවට පත් කරවනු පිණිස දහම් දෙසති. සියලු කෙලෙස් මළ බැහැර කළ භාග්‍යවතුන් වහන්සේ සෙස්සන් ද කෙලෙස් මලින් බැහැර කරවනු පිණිස දහම් දෙසති” ආචාර්යවරයකු වශයෙන් පරිපූර්ණත්වයට පත් උන්වහන්සේ සිදුකොට වදාළ අධ්‍යාපනික මෙහෙවරෙහි ස්වභාවය මෙයින් පෙනෙයි. වරෙක බුදුන් වෙත පැමිණි මාරයා දැන් ඔබට පිරිනිවන් පාන්නට සුදුසු කාලය යැයි සැලකළ විට උන්වහන්සේ දුන් පිළිතුරු ද මෙහිදී සිහිපත් කරනු වටියි.
“මාරය, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු පිරිසම නියම ශ්‍රාවක භාවය ලබන තුරු, නුවණ ඇත්තවුන් වනතුරු, මනා සේ පුහුණුව ලබා බහුශ්‍රැත වන තුරු ධර්මය මැනවින් උගෙන ධර්මානුකූලව කටයුතු කරන තුරු පිළිවෙත් රකිනා තුරු, ධර්මය හොඳින් ප්‍රගුණ කොට අන්‍යයන්ට ප්‍රගුණ කරවීමට හැකි වන තුරු, මම පිරිනිවන් නොපාන්නෙමි.”
මෙසේ අසම සම ආචාර්යවරයකු වු උන්වහන්සේ තිලෝගුරු වු සේක්, ස්වකීය කාර්යභාර්ය ඉටු කිරීමෙහි ලා ඉතා සාර්ථක වූත්, විද්‍යාත්මක වූත්, සුවිශේෂ උපාය මාර්ග රාශියක් භාවිත කළ බව පෙළ දහම විමසීමෙන් පෙනෙයි. උන්වහන්සේ නොයෙක් විට ස්වකීය ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම පිණිස භාවිත කළ එවන් කොතෙකුත් ශිල්පීය උපාය මාර්ගයන් අතුරින් කිහිපයක් පමණක් හඳුන්වාදීම මෙම ලිපියේ පරමාර්ථයයි.
අවස්ථාවෝචිත වීම
දික් සඟි අටුවාව අනුව බුද්ධ දේශනාව වූ කලී සිව් ආකාර වන්නේ ය.
මෙම අවස්ථාවට මෙම පිරිස සඳහා මෙබඳු දේශනාවක් පැවැත්වීම සුදුසු යැයි තමන් වහන්සේගේ අදහසට අනුව දහම් දෙසීම (අත්තජ්ඣාසය)
ශ්‍රාවක ජනයාගේ අදහස විමසා එයට අනුව ඔවුන් අපේක්ෂා කරන පරිදි දහම් දෙසීම. (පරජ්ඣාසය)
අසන ලද ප්‍රශ්නයට හෝ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් දහම් දෙසීම. (පුච්ඡාවසික)
ශ්‍රාවක ජනයා අතර උපන් යම් ගැටලුවක් පැහැදිලි කරදීම් වශයෙන් එහි අර්ථය දක්වමින් දහම් දෙසීම (අට්ඨුප්පත්තික)
මෙකී දේශනා ක්‍රම සතර හෙවත් ඉගැන්වීම් විධි සතර හඳුන්වාගෙන අටුවාචාරීහු එකිනෙකට සූත්‍ර පිටකාගත නිදසුන් ද සපයති. මෙයින් පැහැදිලි වන්නේ අවස්ථාවෝචිත පාඩමක් ඉගැන්වීම බුදුරදුන්ගේ සිරිත වූ බව ය.
සාකච්ඡාව
බුදුරජාණන් වහන්සේ නිබඳව ම ස්වකීය ශිෂ්‍ය ශ්‍රාවකයන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීම මංගල කරුණකැයි ද වදාළහ. සූත්‍ර පිටකය එබඳු සාකච්ඡාවන්ගෙන් පිරී තිබේ. සමකාලින සාමයික පරිසරයේ විෂමත්වයෙන් මං මුලාව හුන් කාලාමයන් සමඟ සාකච්ඡා කළ උන්වහන්සේ ස්වාධීන වු සංයත වූ චින්තනය විමංසනය ම උසස් කොට දක්වාලූහ. ස්වකීය පැවිදි ශ්‍රාවකයන් සමඟ උන්වහන්සේ පැවැත්වු ධර්ම සාකච්ඡාවන් බොහෝ දෙනාට උසස් ප්‍රතිඵල උදාකළ බව පෙනෙයි. මැදුම් සඟියේ චුලගොසිංහ සූත්‍රයේ දක්නා ලැබෙනුයේ ඉතා සුහදව හා කාරුණිකව ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් තිදෙනෙකු සමඟ චුලගොසිංහ වනයේ දි පැවත්වු එබඳු ධර්ම සාකච්ඡාවකි. ආනන්ද හිමියන් සමඟ බුදුරදුන් පැවැත්වු ගැඹූරු ධර්ම සාකච්ඡාවක් දික් සඟියේ මහා නිදාන සූත්‍රයෙහි හමුවෙයි.
ප්‍රශ්න විසඳීම
බුදුරජාණන් වහන්සේ විසින් තමන් වෙත පැමිණි විවිධ ගිහි පැවිදි ප්‍රශ්න විචාරකයන් අරභයා අනුගමනය කළ චතුර්විධ ව්‍යාකරණ නම් වූ විසඳීම් ක්‍රමයක් වූයේ ය.
යම් ප්‍රශ්නයකට ඒකංසික වු පිළිතුරක් සැපයීම හෙවත් එක ආකාරයකින් පමණක් විසඳීම. (ඒකංස ව්‍යාකරණිය)
වඩාත් විස්තර ලෙස යම් ප්‍රශ්නයක් විධිමත් අන්දමින් බෙදා විග්‍රහ කොට දෙන පිළිතුරින් එය විසඳීම් (විභජ්ජා ව්‍යාකරණිය)
ප්‍රශ්න අසන්නාගෙන් ප්‍රතිප්‍රශ්න නගා අවශ්‍ය කරුණු ඉස්මතු කරමින් ප්‍රශ්න විසදීම (පටිපුච්ඡා ව්‍යාකරණිය)
යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම, සත්‍යාවබෝධයට අදාළ නොවේ නම් එම ප්‍රශ්නය අර්ථ ශූන්‍ය සේ සලකා පසෙකින් තැබීම (ඨපනීය)
සූත්‍රාන්තයන්හි මැ හමුවෙන මෙම චතුර්විධ ව්‍යාකරණය බුදුරදුන්ගෙන් විශිෂ්ඨතම ඉගැන්වීම් ක්‍රමයකි.
වෘත්තාන්ත හා ගීතිකා
යම් ගැඹුරු කරුණක් වඩාත් සිත් ගන්නා පරිදි රසවත්ව ඉගැන්වීම පිණිස වෘත්තාන්ත ශෛලිය යොදාගැනීම බුදුරදුන්ගේ සුවිශේෂ පිළිවෙතක් වූයේ ය. උන්වහන්සේ මිනිස් සමාජයේ ප්‍රභවය හා එහි ඓතිහාසික අනුක්‍රමික පරිණාමය උගන්වනු පිණිස දික් සගියේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි ද, දරිද්‍රතාවය පාදක කොටගෙන සමාජයේ සොරකම්, මිනිස් ඝාතන, බොරු කීම් ආදිය අනුක්‍රමයෙන් ඉපදී අපරාධ බහුලවන සැටි උගන්වනු පිණිස එහිම චක්කවත්ති සීහනාද සූත්‍රයේ ද, රජය විසින් සොර සතුරු උවදුරු මඩිමින් රට ආර්ථික වශයෙන් සුරක්ෂිත කළයුතු අයුරු පහදා දෙනු පිණිස කූටදන්ත සුත්‍රයේද මෙම ශෛලිය අනුගමනය කොට තිබේ. ගීතිකා මගින් දහම් දෙසීම පිළිබඳ ප්‍රකටම නිදසුන් ධම්මපදයයි.ඉතා පැරැණි අවදියේ ම බුද්ධ වචනය නවාංග ශාස්තෘ සාසන නමින් අංග නවයකට බෙදා ඇති බව ද එහි ගාථා දේශනා එක් අංගයක් වු බව ද මෙහිලා සිහිපත් කළ යුතු ය. රස හර පිරි ගීතිකාවෝ ශ්‍රාවක සිසුනට පහසුවෙන් ම ඉගැන්වීමට හැකි මඟක් වූවෝ ය.
උපමා
බුද්ධ දේශනාව ඉතා රසවත් වූ ද, හරවත් වූ ස්ථාමෝචිත වූ ද උපමාවලින් හා උපමා කතාවලින් පිරි තිබේ. ධම්මපදයෙහි පමණක් එබඳු උපමා රාශියකි. සල්ලෝපමාව, අන්ධවෙනුපමාව, ජජච්ච්න්ධෝපමාව, වමම්කොපමාව, සාරෝපමාව, අලගද්දුපමාව ආදිය රස හර පිරි අපූර්ව උපමා කතාවන් මීට නිදසුන් වෙයි. මිනිස් අත්දැකීම් මුසුකොට ගත්තාවූ ද, විවිධ දහම් කරුණු මැනවින් පැහැදිලි කරන්නාවු ද මෙබඳු උපමාවන් ආධාර කොට ගෙන ඉගැන්වීම හේතුවෙන් ශ්‍රාවක ශිෂ්‍යයන්ගේ සිත් ප්‍රබෝධමත් කරලීමට මෙන්ම කරුණු මැනවින් පහදා දීමටද බුදුරජාණන් වහන්සේ සැබවින්ම සමත් වූහ.
ප්‍රායෝගික ක්‍රම
ඇතැම් ශිෂ්‍යයෝ ඍජු ඉගැන්වීමෙන් උගනිති. එහෙත් සමහරුන්ට වඩාත් සුදුසු වන්නේ වක්‍ර ඉගැන්වීමයි. ඒ බව මැනවින් දැන සිටි ගුරුවරයෙකු වූ බුදුරජාණන් වහන්සේ රූප මානයෙන් මත්ව සිටි නන්දාවනට ජීවිතයේ යථාර්ථය උගන්වනු පිණිස අනුක්‍රමයෙන් මහලු විය තෙක් ගමන් කරන ස්ත්‍රි රූපයක් මවා පෙන්වූ හ. “සියලු සත්වයො මරණයට පත් වන්නෝය” යන යථාර්ථය උන්වහන්සේ දරු වියෝවෙන් උපන් සොවින් මුසපත්ව සිටි කිසා ගෝතමියට උගන්වනු පිණිස” කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිට ගෙනෙවයි” කීහ. ඕ’ තොමෝ මළ දැරුවකද කැටිව අබ සොයා ගියෝ කරුණු වටහා ගත්තා ය. මේ එබඳු නිදසුන් දෙකක් පමණි.
ආධාරක භාවිතය
යම් කරුණක් ශ්‍රාවක ශිෂ්‍යාට පහදා දෙනු පිණිස උචිත ආධාරයක් යොදා ගැනීමද විටක බුදුරදුන් අනුගමනය කළ සාර්ථක ක්‍රමයකි. දැන දැන බොරුකීමේ ලජ්ජා නැති පැවිද්දාගේ පැවිද්ද කෙබඳු දැයි දක්වනු පිණිස උන්වහන්සේ දිය බඳුනක් ආධාර කොට ගෙන කුඩා රාහුල හිමියන්ට දහම් දෙසූහ. සිය පැවිදි සොහොයුරාණන් විසින් සිව්පද ගාථාවෙක් කටපාඩම් නොවු හෙයින් අරමින් බැහැර කරන ලද චුල්ල පන්ථක හිමියන්ට මිනිස් සිත ඇති තතු උගන්වනු පිණිස රෙදිකඩක් ආධාර කොට ගත්හ. මේ වූ කලී ආධාරක භාවිතයෙන් කරුණුූ වටහා දීම පිළිබඳ නිදසුන් දෙකක් පමණි.
පරිසරයේ ඇසුර
බුදුරජාණන් වහන්සේ විසින් සිය ශ්‍රාවක ශිෂ්‍ය ප්‍රජාවට ඉගැන්වීම සඳහා දම් සභා මණ්ඩපය (පන්ති කාමර) නිරතුරුවම උපයෝගී කොට නොගන්නා ලදී. උන්වහන්සේ බොහෝවිට එළිමහන් සාකච්ඡා පැවැත්වූහ. ඉසිපතන මිගදාය, කොසඹෑ නුවර ඇට්ටේරියා වනය වැනි ස්ථාන මීට නිදසුන් ය. රමණීය වන උයන් උන්වහන්සේගේ දේශනා ස්ථාන වූයේ ය. එවන් අවස්ථාවල දී අවට පරිසරයෙහි සිදුවෙන හා පවතින දේ ඇසුරු කොට නිදසුන් දක්වන ලදහ. ශිෂ්‍යයන්ට වඩාත් හුරුපුරුදු ඔවුන් සිත් ගත් පරිසරයම දහම් කරුණු ඉගැන්වීමට යොදා ගන්නා ලදී. කසීභාරද්වාජ ගොවි බමුණෙකි. ඔහුට කෙත ද ගොවිතැන ද නිදසුන් කොට දහම් දෙසන ලදී. උන්වහන්සේ විටෙක සිංසපා (ඇට්ටේරියා) වනයෙක වැඩි සිටිමින් එහි සිංසපා පත්‍ර උපමා කොට දහම් දෙසූහ. මේ වූ කලි නිදසුන් ස්වල්පයක් පමණි. පරිසරය ආශි‍්‍රත වූ ද අත්දැකීම් මුසු වූ ද ඒ පාඩම් ශිෂ්‍යයන්ගේ සුඛාවබෝධය පිණිස මැ වූයේ ය.
සිසුන් ගුරුන් කොට ඉගැන්වීම
ධර්මය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් තිබු දක්ෂ ශිෂ්‍යයන් ඉදිරියට ගනිමින් ඔවුන් මගින් සෙසු ශ්‍රාවක ශිෂ්‍යයන්ට දේශනාවන්ට සවන් දීමටත්, සාකච්ඡා පැවැත්වීමටත්, අවස්ථා සැලසූ තැන් රාශියක්ද සූත්‍ර පිටකයේ දක්නා ලැබෙයි. මැඳුම් සඟියේ සම්මාදිට්ඨි සූත්‍රය එවන් ශ්‍රාවක භාෂිතයකි. එම දේශනාව පවත්වන ලද්දේ බුදුරජාණන් වහන්සේගේද මෙහෙයවීම ඇතිව සැරියුත් මාහිමියන් විසිනි. එබඳු අවස්ථාවල දී සිය ශිෂ්‍යයන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන්ට ප්‍රශංසා මුඛයෙන් ආශිර්වාද කිරීමටද බුදුරජාණන් වහන්සේ අමතක නොකළහ. ස්වකීය ශිෂ්‍ය ශ්‍රාවකයන්ගේ සිත් සතන් තේරුම් ගනිමින්, ඔවුන්ගේ චරිත සංවර්ධනයට අනුරූප වන පරිදිත්, ඇතැම්විට ඔවුන් පත්ව සිටි තත්වයට අතිශයින්ම උචිත වන පරිදිත් ඉගැන්වීමෙහි නිරත වූ බුදුරජාණන් වහන්සේ, පුද්ගලයන් අතර වෙනස ද ඔවුන්ගේ විවිධ වු විසම වු ගතිගුණ අභිරුචිය රසිකත්වය ආකල්ප ආදිය ද මැනවින් වටහාගෙන කරුණු ගෙනහැර දක්වූහ. අනේකාකාර වු ශිල්පීය උපාය මාර්ගයන් ඔස්සේ ජීවිතය හා ලෝකය පිළිබඳ යථාභූත ඤාණ දර්ශනය බුදුරදන් වෙතින් උදා කර ගත් ශිෂ්‍යයෝද මහතු සතුටට පත්වූහ. අතිශයින් තෘප්තිමත් වූහ. සාධුකාර දුන්හ. ප්‍රශංසා කළහ. ‘මානවි, මැනවි ස්වාමීනි, යටිකුරු කරන ලද්ද උඩුකුරු කළා සේ, වසන ලද්ද විවර කළා සේ, මංමුලා වූවෙකුට මග හෙළි කළා සේ. ඇස් ඇත්තෝ රූප දකිත්වා යි, අඳුරට ආලෝකයක් දුන්නාසේ අනේක පරියායෙන් ඔබ වහන්සේ අපට දහම් දෙසූහ.” බොහෝ ශිෂ්‍යයෝ අසීමිත තෘප්තියකින් පැවසූහ. අපි මෙතැන් පටන් ගම් නගර වෙත යමින් තෙරුවන් ගුණම ගයමුයැයි” ද පැවසූ හ.
.