භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

බුදු සිරුරෙහි අසිරිය

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුට වඩා වෙනස් වූ මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකින් සමන්විතයි.එසේ වුවද, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව ප්‍රමුඛස්ථානය හිමි වන්නේ මනුෂ්‍යයෙකුගේ ශරීර ලක්ෂණවලට වඩා ඔහු විසින් සමාජයට කරනු ලබන ක්‍රියාකාරකම් වල වැදගත්කම අනුව බවයි. වක්කලී තරුණයා බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්ෂණ නිසාම උන්වහන්සේ ළඟ මහණදම් පුරන්නට කැමැත්ත පළ කළා. එම කැමැත්ත නිසාම වක්කලී තරුණයා මහණදම් පුරමින් බුදුරජාණන් වහන්සේගේ රූප ස්්වභාවය බලමින් උන්වහන්සේ සමීපයෙහිම වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙහි පිහිටා තිබෙන මහා පුරුෂ ලක්ෂණ තිස් දෙක පිළිබඳව ලක්ඛන සූත්‍රයෙහි කරුණු සඳහන් වෙයි.

ඉධ භික්ඛවේ මහාපුරිසො
සුපපතිට්ඨිත පාදො
හෝති යම්පි භික්ඛවේ මහා පුරිසො සුපපතිට්ඨිතපාදො හෝති
ඉධම්පි භික්ඛවෙ මහා පුරිසස්ස
මහා පුරිස ලක්ඛණං භවාති

බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙහි පිහිටා තිබුණ පළමු වන මහා පුරුෂ ලක්ෂණය නම්,
1. මනාව පිහිටි පා ඇති බවයි.
සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු පය බිම තබන අවස්ථාවෙහි යටි පතුලෙහි කොටසක් පමණක් පොළොවට ස්පර්ශ වෙයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සම්පූර්ණ කොටසම මහ පොළොවෙහි ස්පර්ශ වෙයි.එය බුද්ධ ශරීරයෙහි පැවතුන මහා පුරුෂ ලක්ෂණයක් වෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගේ යටිපතුල සම්පූර්ණයෙන්ම මහ පොළොවෙහි ස්පර්ශ වන්නේ නැහැ.
2. යටිපතුලෙහි චක්‍ර සටහන් පිහිටා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ පාදවල යටිපතුල් යුවළෙහි මඟුල් ළකුණු කිහිපයක් සහිතව චක්‍ර සටහන් යුවළක් පිහිටා ඇති බව සඳහන් වෙයි. එය තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි පැවැති මහා පුරුෂ ලක්ෂණයක් වෙයි.
3. දිග්වූ විලුඹක් ඇති බව
තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි පාදයෙහි විලුඹ අන්‍ය පුද්ගලයන්ට වඩා තරමක් දිගට පිහිටා තිබෙන නිසාම උන්වහන්සේගේ ශරීරයට නව පෙනුමක් එක්කරයි. විශේෂත්වයකින් බැලුවිට පමණක් එය දක්නට ලැබෙනවා මිස එය පෙනෙන්නට ලැබෙන්නේ නැහැ.
4. දිග්වූද, එකසමාන වූද ඇඟිලි ඇති බව
අතක ඇඟිලි පහ පස් ආකාරයකට පිහිටා තිබෙන අතර එය පෘතග්ජන පුද්ගලයන්ගේ අත්පාවල ඇඟිලි ඒ ඒ ඇඟිල්ලට අනන්‍යවූ අයුරින් පිහිටා තිබෙයි. බුදුරජාණන් වහන්සේගේ අත්පාවල ඇඟිලි පිහිටා ඇත්තේ අග සිහින්ව සමානව එක හා සමාන දිග ඇඟිලි ලෙසයි.
5. මෘදු මොළොක් අත්පා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ අත්පා පිහිටා තිබෙන්නේ තරුණ පුද්ගලයෙකුගේ අත්පා පිහිටා තිබෙන ආකාරයට නිසාම උන්වහන්සේගේ ශරීර ශක්තිය සහ පෙනුම ප්‍රභාෂ්වර වෙයි. නමුත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ වයසත් සමඟ අත්පාවල ස්වභාවය වෙනස් වෙයි.
6. සමානව පිහිටි අත්පා ඇති බව
සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ අත්පාවල මුල අග යන සන්ධි ස්ථාන එක පෙළට සමානව පිහිටන්නේ නැත.තථාගතයන් වහන්සේගේ අත්පාවල අග මුල යන සන්ධි ස්ථාන එක පෙළට සමානව පිහිටා ඇත.
7. පහසු පා ඇති බව
බුදුරජාණන් වහන්සේ මඟ වඩින විට ඉදිරියෙන් සිටින පුද්ගලයෙකුටත් පිටුපස සිටින පුද්ගලයෙකුටත් උන්වහන්සේගේ යටි පතුල දක්නට ලැබෙයි. තථාගතයන් වහන්සේගේ පාදයෙහි ගොප් ඇටය පිහිටි විලාසය එයට හේතුව වෙයි. නමුත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු ඇවිදගෙන යන විට ඉදිරියෙන් සිටිින පුද්ගලයෙකුට පාදයෙහි යටි පතුල පෙනෙන්නේ නැත.
8. මනාව පිහිටි කෙණ්ඩා ඇති බව
පාදය ආරම්භ වන ඉහළ කොටස කෙණ්ඩා හෙවත් ජංඝා නමින් හඳුන්වයි. තථාගතයන් වහන්සේගේ ජංඝා කොටස සුලක්ෂණව පිහිටා තිබෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ පාදයේ ඉහළ කොටස එවැනි ආකාරයෙන් පිහිටන්නේ නැහැ.
9. නොනැමී දණහිස පිරිමැදිය හැකි බව
බුදුරජාණන් වහන්සේට නොනැමී දණහිස ස්පර්ශ කළ හැකිය. බුදුරජාණන් වහන්සේගේ දෑත් දිග්ව පිහිටා තිබීම බව නොසැලකිය යුතුයි. බුද්ධ ශරීරය සුලක්ෂණව පිහිටා තිබීම එයට හේතුව බව සඳහන් වෙයි. නමුත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු හිටගෙන සිටින විට තමන්ගේ අතින් දණහිස අතගෑමේදී නොනැමී එය කළ නොහැකි වෙයි.
10. පුරුෂ ව්‍යන්ජනය වැසී තිබිම
තථාගතයන් වහන්සේගේ පුරුෂ ව්‍යන්ජනය පිහිටා තිබෙන්නේ සාමාන්‍ය මිනිස් සිරුරක පුරුෂ නිමිත්ත පිහිටා තිබෙන ආකාරයට නොවෙයි. එම පිහිටීම සුවිශේෂත්වයකින් යුක්ත වෙයි. ඇතුන්ගේ සහ ගවයන්ගේ මෙන් බාහිරට විද්‍යාමාන නොවන ආකාරයෙන් ශරීරය තුළට සැඟව පිහිටා තිබෙයි.
11. ස්වර්ණ පැහැ ඇති දේහය
යම් පුද්ගලයෙකු දුටු විට එකවරම අදහාගැනීමට නොහැකි තරමට බුදුරජාණන් වහන්සේගේ සමස්ත බුද්ධ ශරීරයෙහිම වෙනසක් දැකිය හැකි වෙයි. රුවන් ප්‍රතිමාවක් මෙන් ප්‍රභාස්වරව ප්‍රභාමත් පෙණුමකින් යුක්ත වෙයි.
12. මනා සිනිඳු සම
තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි සම සිනිඳුව සියුම්ව පවතින නිසාම දූවිලි නොතැවරෙයි. නෙළුම් පතට වැටෙන දිය බිඳ එහි නොරඳන සේ තථාගත ශරීරයට පැමිණෙන දූවිලි නොඇළී ඉවත් වෙයි. ඒ හේතුව නිසාම තථාගතයන් වහන්සේගේ සිරුර සැම විටම පවිත්‍රව පවතී. උන්වහන්සේ ස්නානය කරනු ලබන්නේද ශරීරය සිහිල් කිරීම සඳහා පමණයි.
13. රෝමකූප තනි තනිවම පිහිටා ඇත.
බුදුුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙහි ලෝම කූප එක ලෝම කූපයක එක ලෝම ගසක් බැගින් පිහිටමින් ලෝම ශරීරය පුරා පිහිටා තිබෙයි. පෘතග්ජන පුද්ගලයෙකුගේ ශරීරයෙහි පිහිටා තිබෙන ලෝම ප්‍රමාණයටම ලෝම කූප හට ගන්නේ නැහැ.
14. මනාව පිහිටි ලෝම ඇති බව
තථාගතයන් වහන්සේගේ සිරුර පුරාම පවතින ලෝම කිසියම් ක්‍රමික රටාවකට අනුව පිහිටා තිබෙයි. එම ලෝම සියල්ලම දකුණට කරකැවී රෝම කූපයේ අග කෙළවර උඩ අතට හැරී සිටින ආකාරයෙන් පිහිටා තිබෙයි. බුදුරජාණන් වහන්සේට පමණක්ම විශේෂ වූ ලක්ෂණයක් වෙයි. සාමාන්‍ය පුද්ගල සිරුරෙහි ඇතිවන ලෝම ක්‍රමානුකූල රටාවකට පිහිටා නැහැ.
.