භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

ලොව අසිරිමත්ම මනුෂ්‍ය රත්නය


අති දීර්ඝ කාලයකට පසුව මුළු මහත් ලෝකයටම පහළවන උතුම් මනුෂ්‍ය රත්නය ඒ භාග්‍යවත් තිලෝගුරු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ සහ සංසාරික දුක් දුරු කරදීම පිණිස පහළවන මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය සරණයාම තරම් උත්තරීතර දෙයක් මේ ලොව තවත් නැත. යමෙක් අවබෝධයෙන්ම උන්වහන්සේ සරණ ගියහොත් අනිවාර්යයෙන්ම ඒ ශ්‍රවකයාට මේ භයානක සංසාර සාගරයෙන් එතෙර වීමට පුළුවන.
ප්‍රථමයෙන්ම අප උන්වහන්සේ යනු කවුදැයි අවබෝධයෙන් දැන ගත යුතුවේ. මේ ලෝකයේ ශීලයෙන් උන්වහන්සේ හා සමාන කෙනෙක් නැත. සමාධියෙන් උන්වහන්සේ හා සමාන කෙනෙක් නැත. ප්‍රඥාවෙන් උන්වහන්සේ හා සමාන කෙනෙක් නැත. උන්වහන්සේට සම කළ හැකි කිසිවෙකු නැති අතර සමාන වන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණි. වෙනත් අය හා අසමාන වන බැවින් හා තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණක් සමාන බැවින් උන්වහන්සේට ‘අසමසම’ යයි කියනු ලැබේ.
අප නව අරහාදී බුදුගුණ කෙටියෙන් හෝ දැන ගැනීම වටී. මක් නිසාද යත් 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ පසුගිය කාලය තුළදීවත් මෙතෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය ඉගෙන නොගත් විශාල පිරිසක් මේ සමාජය තුළ තවමත් සිටින බව පෙනෙන නිසාවෙනි. උන්වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින් ‘අරහං’ නම් වන සේක. ගුරු උපදේශ නැතිවම දුක අවබෝධ කළ හෙයින්ද, තණ්හාව නැති කළ හෙයින්ද, නිවන සාක්ෂාත් කළ හෙයින්ද නිවනට යන මග වැඩි හෙයින්ද උන්වහන්සේ සම්මා සම්බුද්ධ’ වන සේක. සෘද්ධිවිධ, දිබ්බසෝක, පරචිත්තවිජානන, පුබ්බේනිවාසානුස්සති, ආසවක්ඛය ආදී උතුම් ඥාණ උපදවාගෙන ඒ ඥාණයන්ට අනුවම ජීවිතය ගතකළ හෙයින් ’විජ්ජාචරණ සම්පන්න’ වන සේක. සුන්දර වූ නිවන්මගට වැඩි හෙයින් ‘සුගත’ වන සේක. කාම රූප, අරූප යන සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වදාළ හෙයින් ‘ලෝකවිදූ, වන සේක. දමනය කළ නොහැකි අකීකරු දෙවි මිනිස් බඹුන් මේ නිවන්මගෙහි දමනය කොට දහමට කීකරු කරවා ඒ අමා නිවනට යොමුකොට වදාළ හෙයින් ‘අනුත්තරෝ පුරුසදම්ම සාරථි’ වන සේක. සියලු දෙව් බඹු මිනිසුන්ගේ උතුම් ගුරුවරයා වන හෙයින්, සත්ථා දේව මනුස්සානං’ වන සේක. උතුම් චතුරාර්්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන්‍යයන්ට ද අවබෝධ කොට වදාළ හෙයින් ‘බුද්ධ’ වන සේක. මෙතරම් ගුණස්කන්ධයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වන හෙයින් ‘භගවා’ වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් අප්‍රමාණ ගුණස්ඛන්ධය මෙතකැයි කියා කිව නොහැකියි. එක් බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ කල්පයක් මුළුල්ලේ විස්තර කළත්, කල්පය ගෙවී අවසාන වනවා මිස බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය අවසාන නොවන බව විස්තර වෙයි. එසේ හෙයින් ඔබ සියලු දෙනා අඩුම තරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ නවය මේ ආකාරයෙන්වත් මතක තබා ගත යුතුයි. මේ බව උතුම් බුදුගුණ නවය මීට වඩා විස්තරාත්මකව විග්‍රහ කළ හැකි බව සියලු දෙනාම දැකගත යුතුය.
මට්ටකුණ්ඩලී නම් දරුවා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අවස්ථාවේ අප භාග්‍යවතුන් වහන්සේ බුද්ධ රශ්මි මාලාවන් ඒ දරුවා වෙත යොමුකළ සේක. ඒ අනුව මට්ටකුණ්ඩලී ඒ උතුම් බුදුරුව දැක ප්‍රසාදයට පත්වීමි හේතුකොට ගෙන මරණින් පසු දිව්‍ය ආත්මභාවයක් ලබා ගත හැකි විය.
තමාගේ මරණ මංචකයේදී ඒ උතුම් බුදුගුණ සිහි කර ගැනීමට හැකි වුවහොත් එයම කෙනෙකුට සුගතියට යාමට උපකාර වේි. ශ්‍රී ලංකාවාසී බහුතරයක් වූ පාරම්පරික බෞද්ධ ජනතාවටත් ලෝකවාසී පාරම්පරික බෞද්ධ ජනතාවටත් මේ ලැබුණු අවස්ථාව වචන වලින් විස්තර කළ නොහැකියි. නමුත් ඒ භාග්‍ය සම්පන්න අවස්ථාව නිවැරැදි ලෙස උපයෝගී කර ගන්නා බවක් නම් බොහෝ දෙනෙකු තුළ දක්නට නොලැබේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයට වඩා නූතන විද්‍යාත්මක මත වලට යටවෙන, කන්දෙන, පිරිස් එන්න එන්ම වැඩිවෙන්නට පටන් ගෙන තිබේ. අග්ගපසාද සූත්‍රයේ දී බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ මේ ලොව ඇති පා නැති, දෙපා, සිව්පා, බොහෝ පා ඇති සතුන්ද, රූපී, අරූපී, සංඥා ඇති, සංඥා නැති, සංඥා ඇති නැති සතුන්ද අතරින් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අග්‍රම උත්තමයා වන බවයි. යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නේ නම් ඒ අග්‍රම වූ පැහැදීම ඇති කර ගැනීමයි. අග්‍රම වූ පැහැදීම ඇති කරගතහොත් අග්‍රම විපාක ලැබේ. ඔබ ඒ අග්‍රම පැහැදීම ඇතිකරගත් පුණ්‍යවන්ත භාග්‍යවන්ත කෙනෙක්ද? දැන්ම සිතා බලන්න. එසේ නම් මේ මොහොතේ පටන්ම ඒ අග්‍රම පැහැදීම ඇතිකරගෙන අග්‍රම විපාක ලබා ගන්න. එවිට ඔබට ජරාවට පත්වෙන මරණයට පත්වෙන, ඝෝර සසර ගමන නිමාකොට ඒ අමා නිවනට පත්විය හැකිය. මේ උතුම් වෙසෙ‍ෙග් අසිරිය මුළු ලෝ ධාතුවේ පැතිරෙන මොහොතේ ඔබට ඒ භාග්‍යය වාසනාව උදාවේවා!
.