භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

සම්මා සම්බුද්ධත්වය ලැබීමේ දී පහළ වූ පෙර නො ඇසූ විරූ ඥානය


ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, 
රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති 
පූජ්‍ය කොත්මලේ කුමාරකස්‌සප හිමි

ශ්‍රද්ධාසම්පන්න පින්වත්නි, මේ හැම දෙනා ම බොහෝ ම ශ්‍රද්ධාවෙන් වුවමනාවෙන් ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ පෙරුම්දම් පුරල අපි හැම දෙනාට ම සසර දුක්‌ගිනි නිවාලීම පිණිස දේශනා කරන්නට යෙදුණු සද්ධර්ම සාගරයෙන් බිඳක්‌ ශ්‍රවණය කරන්නට සූදානම් වන අවස්‌ථාව.

පින්වතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා දීපංකර බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද මූලයේ වැඳවැටිල සතර පද ගාථාවක්‌ අහල නිවන දකින්න තිබුණු අවස්‌ථාව අතහැරල දාල මේ සංසාර සාගරයට පිවිසුණේ ඔබ අප හැම දෙනා කෙරෙහි තිබුණු මහා කරුණාව නිසා. එදා පටන් ඒ මහ බෝසතාණන් වහන්සේ යම් දුකක්‌, වෙහෙසක්‌ ගත්ත නම් ඒ දුක ඒ වෙහෙස ගත්තෙ අපි හැම දෙනා ම සසර දුකින් එතෙර කරවන්න.

මහා සීහනාද සූත්‍රය වගේ සූත්‍රයක්‌ අරගෙන බලනකොට අපිට දකින්නට තියෙනව මහ බෝසාණන් වහන්සෙ මේ ජීවිතේ දි ම මොන තරම් දුකක්‌ මොන තරම් වෙහෙසක්‌ ගත්ත ද සම්මා සම්බුද්ධත්වය සඳහා කියල. ඒ සමාදන් වුණ ව්‍රත සමාදාන, ගත කරපු දුෂ්කර දිවි පැවැත්ම ගැන මහ බෝසතාණන් වහන්සේ ඒ සූත්‍රය තුළ වඩාත් විස්‌තර කරනවා. 

මහ විශාල වනාන්තරවල කාත් කවුරුවත් නැතුව ගත කරපු හැටි, කන්නට බොන්නට වෙන කිසි ආහාරයක්‌ හොයාගන්න නැතුව ගොම අනුභව කරල ජීවත් වුණ හැටි මහ සීතලේ සීතලට ඔරොත්තු දෙන ඇඳුමක්‌ නැතුව හිටපු හැටි, ඒ වගේ ම එක කැලේක ඉන්නකොට යම් කිසි දවසක මනුස්‌සයෙක්‌ දැක්‌කොත් මනුස්‌සයෙක්‌ නො පෙනෙන තරම් දුරකට තවත් කැලේකට ගිහිල්ල ආපහු කාලයක්‌ ජීවත් වෙනවා. එතනදිත් මනුස්‌සයෙක්‌ දැක්‌කොත් මනුස්‌සයො ඇස නො ගැටෙන ප්‍රදේශ දක්‌වා ම ගමන් කරනව.

මෙන්න මේ විදියට ඉතා ම දුෂ්කර පැවැත්මක්‌ අනුගමනය කරල ඒ දුෂ්කර පැවැත්මෙ නිස්‌සාර බව තේරුම් අරගෙන බුද්ධත්වය අවබෝධ කරගත්තෙ මධ්‍යම ප්‍රතිපදාව තුළ.

ඉතින් ඒ මහබෝසතාණන් වහන්සෙ එදා ඒ දුක ඒ වෙහෙස ගත්තෙ අපි හැම දෙනා ම සසර දුකින් එතෙර කරවන්න. බෝසතාණන් වහන්සේ අපිව සසර දුකින් එතෙර කරවන්න ගත්ත උත්සාහයෙන් කෝටියෙන් පංගුවක්‌ වත් අපිට අපිව සසර දුකින් එතෙර කරගන්න තිබුණ නම් අපි මෙලහකටත් මීට වැඩිය ගොඩාක්‌ උත්සාහවත් වෙලා. 

ඉතින් ඒක නිසා කල්පනා කරගන්න ඕන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනකොට, ඒ බණ අහනකොට හොඳට එක`ග වූ සිහියෙන් කය නිසසලව තිබෙනව වගේ හිතත් නිසසල කරගෙන බොහොම වුවමනාවෙන් අහන්නට ඕන.

බුදුරජාණන්වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුණා, ලෝකය තුළ පවතින යථාර්ථ ස්‌වභාවය. ඇත්ත ස්‌වභාවය. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මොන විදියේ ප්‍රතිපදාවක්‌ ද කුමක්‌ සඳහා ද කියන එක ටිකක්‌ විමසල බලමු. බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත් දවසෙ දි අවබෝධ කරගන්නට යෙදුණේ පුබ්බෙ අනනුස්‌සුතෙසු ධම්මෙසු චක්‌ඛුං උදපාදි ඥානං උදපාදි.

පෙර නො ඇසූ විරූ දහමක ඇස පහළ වුණා. නුවණ පහළ වුණා කියල බෝසතාණන්වහන්සෙ එදා බුද්ධත්වය අවබෝධ කරගත්ත දවසෙ දි ඒ අවස්‌ථාව පිළිබඳව ධම්මචක්‌කප්පවත්තන සූත්‍රය තුළ සඳහන් වෙන්නෙ.

මොකක්‌ ද බුදුරජාණන්වහන්සෙ එදා අවබෝධ කරගත්ත ඒ පෙර නො ඇසූ විරූ ඥානය, පෙර නො ඇසූ විරූ දහම? අද අපිට සරල දෙයක්‌ හැටියට තේරෙන චතුරාර්ය සත්‍ය ධර්මය තමයි බුදුරජාණන් වහන්සෙ එදා අවබෝධ කරගත්ත පෙර නො ඇසූ විරූ දහම් ඇස කියල සඳහන් වෙන්නෙ. මෙතන දි දුක, දුක්‌ඛ සමුදය, දුක්‌ඛ නිරෝධය, දුක්‌ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාව කියන මේ චතුරාර්ය සත්‍ය දහම බුදුරජාණන්වහන්සෙ අවබෝධ කරගෙන අපිට දේශනා කළා.

මෙතන දි ඉස්‌සරවෙලා ම අපට හම්බ වෙනව දුක්‌ඛ සත්‍යය කියන එක. දුක කියල කියන්නෙ මොකක්‌ ද කියල අහනකොට ජාතිපි දුක්‌ඛා ජරාපි දුක්‌ඛා ව්‍යාධිපි දුක්‌ඛො මරණංපි දුක්‌ඛං අප්පියෙහි සම්පයොගො දුක්‌ඛො පියෙහි විප්පයොගො දුක්‌ඛො යංකිච්චං න ලබති තම්පි දුක්‌ඛං.

ඉපදීම දුකයි, ලෙඩ වීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි, අකැමැති අය හා එක්‌ වීම දුකයි, කැමැති අයගෙන් වෙන් වීම දුකයි කැමැති දේ නො ලැබීම දුකයි කියල මේ දේ දුක හැටියට පෙන්නනව. මේ ධර්මතා දුකයි කියල කියන්න දුකයි කියල පෙන්නන්න බුදුරජාණන්වහන්සේ නමක්‌ ම ලෝකෙ පහළ වෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. බෝසතාණන් වහන්සෙත් ගිහි ගේ අත්හැරල ගියෙ සතර පෙරනිමිති දැකල. එතකොට ඉපදෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක දුකයි කියල බෝසතාණන් වහන්සෙත් දැනගෙන හිටිය. 

එහෙනම් මොකක්‌ ද මෙතන දි අවබෝධ කරගත් පෙර නො ඇසූ විරූ, පෙර නො දැනගත්ත දුක? මේ පිළිබඳව පැහැදිලි කරනකොට යමකප්‍රකරණයෙහි බුදුරජාණන් වහන්සෙ පැහැදිලි කරනව දුක්‌ඛ සත්‍යය හා දුක කියන එක පිළිබඳව.

දුක දුකත් වෙනව වගේම දුක්‌ඛ සත්‍යයටත් අයිති දෙයක්‌. දුක්‌ඛ සත්‍යය කියන එක සත්‍ය වුණාට දුකට අයත් වෙන්නෙ නැහැ. එතකොට දුක කියල කියන්නෙ හැම වෙලාවක දි ම යම් කායික දුකක්‌ තියෙනව නම් චෛතසික වශයෙන් හිතේ හටගන්න දෝමනස්‌සයක්‌ තියෙනව නම් දුක්‌ඛ දෝමනස්‌ස කියන දෙක ම දුකට අයිති දේවල්. දුක්‌ඛ සත්‍යය කියල කියනකොට යම් කායික දුකක්‌ හා චෛතසික දුකක්‌ තියෙනව නම් ඒ දුක අතහැරල ඒ දුක හැරුණු කොට යම් දුකක්‌ තියෙනව නම් ඒ දුක දුක්‌ඛ සත්‍යය යෑයි කියනව.

එතකොට මොකක්‌ ද කායික දුකයි හිතේ ඇති වන චෛතසික දෝමනස්‌සයයි අතහැරල අපිට ඇති වෙන දුක මොකක්‌ ද? කායික වශයෙන් ඇති වෙන දුක හා මානසික වශයෙන් ඇති වන දුව පුතා නැති වුණා, අම්ම තාත්ත මැරුණ ලෙඩ වුණා කියල නැතිනම් තමන් ලෙඩ වෙනව කියල හෝ මේ විදියට තමන් හිතින් විඳින දුකයි කායිකව විඳින දුකයි හැරුණු කොට අපි විඳින දුක මොකක්‌ ද? 

අන්න ඒ දුක තමයි පුබ්බෙ 

අනනුස්‌සුතෙසු ධම්මෙසු චක්‌ඛුං උදපාදි. පෙර නො ඇසූ විරූ දහම් ඇසක්‌ තුළ දැනගත්තෙ. 

අපිට දුක අවබෝධ කරගන්නව කියල කියනකොට දුක කියන කාරණාව පැහැදිලි කරනකොට අපිට අද දුක තුළ ම පවතින ලෝකය දුක කියන තැනින් ම හම්බ වෙලා තියෙන්නට ඕන.

ආනන්ද හාමුදුරුවො දවසක්‌ බුදුරජාණන් වහන්සේ ගෙන් අහනව ස්‌වාමීනි, මේ ලෝකෙ කොහෙද පිහිටල තියෙන්නෙ කියල.

''ආනන්ද දුක්‌ඛෙ ලොකො පතිට්‌ඨිතො'' මේ ලෝකය පිහිටල තියෙන්නෙ දුක මත. එතකොට ලෝකය කියන එක අපිට දුක තුළ, දුක මත පිහිටල තියෙන දෙයක්‌ හැටියට ලැබෙන්නට ඕන. දැන් කාටවත් මේ ඉදිරිපසින් තියෙන මේසෙ ගැන දුකක්‌ තියෙනව ද? නැහැ. කායික වශයෙන් හෝ චෛතසික වශයෙන් දුකක්‌ ඇත්තෙ නැහැ මේ මේසය ගැන. නමුත් මේසෙ කියන එක අපිට දුක්‌ඛ සත්‍යයෙන් නො මිදුණු දෙයක්‌ වෙන්නට ඕන.

එතකොට කොතැනින් ද ඒ දුක පැනෙව්වෙ? සංකිත්තෙන පංච උපාදානක්‌ඛන්ධා දුක්‌ඛා කියල පැනෙව්ව නම්, කෙටියෙන් ම කියනව නම් පංච උපාදානස්‌කන්ධය දුකයි කියල පැනෙව්ව නම් අන්න ඒ ස්‌කන්ධ මට්‌ටමේ දුකෙන්, පංච උපාදානස්‌කන්ධය නියෝජනය කරන මට්‌ටමේ දුකෙන් පෙන්නුව මේ හැම දේ ම දුකයි කියල.

එතකොට මේසය මේසය හැටියට ම අපිට හම්බ වෙන එක තුළ බාහිරව මේසෙ දකින්න පුළුවන්කම මයි පංච උපාදානස්‌කන්ධයක පැවැත්මයි කියල කියන්නෙ. පංච උපාදාන ස්‌කන්ධ මට්‌ටමේ දුක කියල කියන්නෙ

එතකොට අපට දුක කියල කෙළින් ම පෙන්නුවේ මෙන්න මේ මට්‌ටමෙන්මයි දුක එන්නෙ. මේසෙ කියන ධර්මතාව අද අපිට දුක වෙල නැහැ. නමුත් මේසෙ බාහිරව තියෙන බවට හම්බ වෙන එක තුළ එතැන ඇති ස්‌කන්ධ ටික පිරිසිඳ නො දන්නාකම නිසා නැවත මේසයක්‌ දකින්න පුළුවන් මට්‌ටමේ ආයතන ටික සකස්‌ කරගන්න ගතිය මේ තුළ තියෙනව. 

හැබැයි ඒ සකස්‌ කරගත්ත ආයතනවලට ගැටෙන්නෙ මේසෙ විතරක්‌ නෙමෙයි. මේසේ කියන එක විඳින්න පුළුවන් වන මට්‌ටමේ ආයතන ටිකක්‌ සකස්‌ කරගත්ත නම් ඒ ආයතන ටිකට යම් තාක්‌ දුක්‌ඛදායක අරමුණු හම්බ වෙනව නම් ඒ හැම එකට ම හේතුව තමයි මේසය කියන ධර්මතාව.

ඒක නිසා අද අපි ලෝකය ඇසුරු කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ කියන මේ හැම මට්‌ටමේ හැම දෙයක්‌ ම හැම නිමිත්තක්‌ ම දුක කියන ධර්මතාවෙන් මිදුණු දේවල් නෙමෙයි.

අපි දැන් දුක ගැන දෙආකාරයකට කතා කළා. මොකක්‌ ද දුක සහ දුක්‌ඛ සත්‍යය කියල. ලෝකෙ තුළ ඇති බවට හම්බ වෙන ධර්මතාවක නැති බව හෝ ''විපරිණාමය හෝ වෙනස්‌ වෙලා නැති වෙලා යන බව'' දුකයි. දුක්‌ඛ ආර්ය සත්‍ය ධර්මතාව තුළ, ''හම්බ වෙන බව'' ම දුකයි කියන කාරණා දෙකක්‌ තමයි අපි මේ විස්‌තර කළේ.

එතකොට මේ දුක ඇති කරල තියෙනව මොකෙන් ද සමුදය සත්‍යය තුළින්. අපිට මේ දෙආකාර දුකට හේතු වන විදියට ම සමුදය පෙන්නන්න පුලුවන්කම තියෙනව.

අපි යමක්‌ දුකයි කියල පැනෙව්ව නම් ඉපදෙන එක, ලෙඩ වෙන එක, මහලු වෙන එක, මැරෙන එක දුකයි කියල පැනෙව්ව නම් තණ්‌හාව නිසයි දුක ආවෙ. අපි යම් කෙනකුට ඇලුණොත් තමයි දුක එන්නෙ. ඇලෙන් නැතුවත් දුක එනව ද? ඇලෙන් නැතුව දුක එන්නෙ නැහැ. මරණය කියන එක දුකක්‌. නමුත් මේ වෙලාවෙ ලෝකෙ කොච්චර මිනිස්‌සු මැරෙනව ද? ඒත් අපි දුක්‌ විඳිනව ද? නැහැ. අපේ කෙනෙක්‌ අපි කැමැති කෙනෙක්‌ මැරුණ ම දුක එන්නෙ නැද්ද? දුක එනව. එතකොට ඒ දුකට හේතුව මොකක්‌ ද? අපි කැමැත්ත තුළ ඇති කරගත්ත තණ්‌හාව තුළ අපිට ඒ දුක ඇති වෙල තියෙනව.

ලෝකෙ ගොඩාක්‌ මිනිස්‌සු මැරෙනව. මැරෙන එක දුකක්‌ වෙලා නැහැ. අපිට ''ඉන්න පුද්ගලයකු ගෙ'' මරණය තුළ හමු වන දුක තමයි හැම වෙලාවෙ ම දුක ඇති වෙන්න හේතුව. 

දුක්‌ඛ ආර්ය සත්‍යය කියන මට්‌ටමටත් හේතුව තණ්‌හාව ම තමයි. යම්කිසි විදියකින් කිව්වොත් ලෝකෙ මනුස්‌සයො ඉන්නව කියල, මනුස්‌සයො ඉන්න බව තුළ අපිට මනුස්‌සයො විඳින්න පුලුවන් මට්‌ටමේ ආයතන ටිකක්‌ සකස්‌ කරගන්න තැනට යෙදුණු තණ්‌හාවක්‌ තියෙනව. ඒකට කියනව නිකාන්තික්‌ෂණීය තණ්‌හාව කියල. තියෙන වස්‌තුවකට ඇති කරගත්ත ඇලීම තණ්‌හාව කියන එක කෙළින් ම දුකට හේතු වුණා වස්‌තුව ඇති බවට උපාදානය කරගැනීම තුළ. මිනිස්‌සු ඉන්නව කියල ඒ ඉන්න බවට ඇති වීම තුළ යෙදෙන තණ්‌හාවට කිව්ව නිකාන්තික්‌ෂණීය තණ්‌හාව කියල. 

එතකොට ඒ තණ්‌හාව හේතුයි - මේ ලෝකෙ මැරෙනවා කියන යම් කෙනෙක්‌ අපට කවද හරි දවසක අපේ අම්ම තාත්ත දුව පුතා කරන්න හේතුව තියෙනව - අන්න ඒ ඇති බවට හම්බ වෙන නිමිත්ත තුළ. 17.17
.