භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

තථාගතයන් වහන්සේ

 තථාගතයන් වහන්සේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ, සබ්බ ධම්මේහි අප්පටිහත ඥානචාරස්ස, දස බල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස, ධම්මිස්සරස්ස, ධම්ම රාජස්ස, ධම්මස්සාමිස්ස, තථාගතස්ස, සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස.!..!!..!!! 
තථාගත වචනය
තථාගත යනු, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැඳින්වෙන විශේෂ නාමයකි. ත්‍රිපිටකයෙහි සූත්‍ර ධර්ම විමසීමේදී පෙනී යන කරුණක් නම් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පිලිබඳ සඳහන් කිරීමේදී “තථාගත” යන මේ නාමය බෙහෙවින් භාවිතා කර ඇති බවයි.  තථාගත යන මේ නාමය අනුත්තරීය වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විෂයෙහිම පමණක් යෙදෙන උත්තම වූ නාමයකි. සම්මා සම්බුදුවරයන් වහන්සේලා හැර තථාගත යන මේ නාමය භාවිත කිරීමට සුදුස්සෙක් දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ තුන්ලොව නැත්තේමය. තථාගත යන මේ නාමයේ අරුත විවිධ අයුරින් වර්ණනා වී තිබේ.
දීඝ නිකාය “පාසාදික සූත්‍රය” තෙරුවන් විෂයෙහි, විශේෂයෙන් භාග්‍යවතුන්වහන්සේ විෂයෙහි අප්‍රමාණ පැහැදීම් ඇතිකරනසුලු උතුම් දේශනාවකි. එහි භාග්‍යවතුන්වහන්සේ විසින්ම මෙම “තථාගත” නාමය විස්තර කර තිබේ.
තථාගතයන් වහන්සේගේ ඥානය අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයෙහි සැපීමකින් තොරව ගැටීමකින් තොරව විහිදෙයි. උන්වහන්සේ  තුන්කල්හිම සියලු ධර්මයන්හි නොවැසුණු, ආවරණය නොවූ, සිහිකලහැකි දැකියහැකි නුවණින් සමන්විතයහ. උන්වහන්සේ අතීතය යම් පමණ සිහි කිරීමට කැමති වෙයිද, එපමණ සිහිකරයි. අනාගතය අරභයා තථාගතයන්වහන්සේ හට, “මේ අවසන් උපතය, මින් මතු භවයක් නැත” යන බෝධිජ ඥානය උපදී.
අතීත කාලය පිළිබඳව යමක් අභූත(නොපැවති) වේද, අසත්‍යද, අනර්ථ නිශ්‍රිතද, තථාගතයන් වහන්සේ එය නොපවසන සේක. අතීත කාලය පිළිබඳව යමක් භූත (පැවති), සත්‍යද, අර්ථ නිශ්‍රිතද, තථාගතයන්වහන්සේ එවිටද එය සුදුසු කල්හිම පවසන සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අතීත වර්තමාන අනාගත ධර්මයන්හි කවර හෝ දේශනාවක් සුදුසු කාලය දැනම කියනසුලු වේදවැඩ ඇති (යහපත පිණිස පවතින) දෙයක්ම කියනසුලු වේදදහමක්ම කියනසුලු වේද, විනයක්ම කියනසුලු වේදඑහෙයින් උන්වහන්සේ තථාගත” යැයි කියනු ලැබේ.
තවද,
දෙවියන් සහිත, මරුන් සහිතබඹුන් සහිත වූ ලෝවැස්සා විසින්දෙව් මිනිසුන් සහිතමහණබමුණන් සහිත සත්වප්‍රජාව විසින් යමක් දැක්ක යුතුදඇසිය යුතුදයමක් ආඝ්‍රාණයත් ආස්වාදනයත් ස්පර්ශනයත් කල යුතුදදෙව් මිනිසුන් සහිත මෙම සකලවිධ සත්ව ප්‍රජාව විසින් යමක් දන්නා ලදදදක්නා ලදදලබන ලදද,පිරිසිඳින(පිරියෙස්නා) ලදදසිතින් කල්පනා කරන ලදදඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් වෙසෙසින් (විශේෂයෙන්) අවබෝධ කරන ලද්දේය. එහෙයින් තථාගත” යැයි කියනු ලැබේ.
තවද,
යම් රැයෙක, තථාගතයන් වහන්සේ නිරුත්තර සම්මා සම්බුද්ධත්වය අවබෝධ කලේදයම් කලෙක අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවියේද (මහා පරිනිර්වාණය),  මේ කාලය අතරතුර තථාගතයන් වහන්සේ යමක් කියයිද,පවසයිදදක්වයිදඒ සියල්ල ඒ කී පරිදිම වෙයි. අන් ලෙසකින් නොවෙයි. එහෙයින් තථාගත” කියනු ලැබේ.
තවද,
භාග්‍යවතුන් වහන්සේ යම්සේ කියනසුලු දඑසේම කරනසුලුය. යම්සේ කරනසුළුදඑසේම කියනසුලුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ යථාවාදී තථාකාරී දතථාකාරී යතාවාදී ද වේ. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.
දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහිමහණබමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි භාග්‍යවතුන් වහන්සේම අන්‍යයන් මැඩලමින්(ශ්‍රේෂ්ඨත්වයෙන්) සිටී. උන්වහන්සේ අන්‍යයන් විසින් නොමැඩලන ලද්දේය. සියල්ල දක්නේය. අන්‍යයන් අවබෝධයෙන් සිය වශයෙහි පවත්වන්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ තථාගත” යැයි කියනු ලැබේ.
(මේ විග්‍රහය, කියන ලද පරිදි දීඝනිකාය පාසාදික සූත්‍රය ඇසුරින් ලියන ලදී.දීඝ නිකාය “පාසාදික සූත්‍රය”, භාග්‍යවතුන් වහන්සේ විසින් චුන්ද නම් ස්වාමීන්වහන්සේ අමතා ආනන්ද තෙරුන්වහන්සේත් චුන්දතෙරුන් වහන්සේත් ඉදිරියේ දේශනා කරන ලද්දකි. තෙරුවන් විෂයෙහි පහදිනු කැමති පින්වත්හු, ඇති වූ පැහැදීම් දියුණු තියුණු කරගනු කැමති පින්වත්හු, මේ උතුම් සූත්‍ර දේශනාව කියවා ධාරණය කරගැනීමට උත්සුක වෙත්වා!)
දස තථාගත බල
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ අන්‍යයන්ට නැති විශේෂ ඥාන බලයන් දහයකින් සමන්විත වන සේක. මෙම අනුත්තරීය ඥාන බල දහය “තථාගත බල” ලෙසින් හැඳින්වෙයි. මජ්ඣිම නිකාය මූල පණ්නාසකයෙහි එන “මහා සීහනාද සූත්‍රය” භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ ගුණයන්ද ඥාන බලයන්ද දක්වන අතිශය වැදගත් උත්තම වූ සූත්‍ර දේශනාවකි. මෙම සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සෙනෙවි මහා සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරන ලද්දකි. දීඝ නිකායේ සූත්‍ර දේශනාවක් තරමටම දීර්ඝ යයි කිවහැකි දේශනාවක් වන මෙම උතුම් සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ ගුණ බලය ගැන පැහැදී ශ්‍රද්ධාව දියුණු කර ගැනීමට කැමති, මහා පුණ්‍ය ශක්තියක් රැස් කරගෙන සසරට පිහිටක් කරගනු කැමති පින්වත්හු ආදර ගෞරවයෙන් කියවා ධාරණය කර ගනිත්වා! එම සූත්‍ර දේශනාවේ සඳහන් පරිදි මෙහි දස තථාගත බලයන් සැකෙවින් දක්වනු ලැබේ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
“සාරිපුත්තය, යම් බලයකින් සමන්විත තථාගතයන් වහන්සේ ලොවෙහි ශ්‍රේෂ්ඨතම ස්ථානය ප්‍රතිඥා කරන්නේද (තමන් වහන්සේ දෙවියන් බඹුන් සහිත ලොවෙහි උසස්ම වූද අද්විතීය වූද අනුත්තරීය වූද ශ්‍රේෂ්ඨතම ස්ථානයට පැමිණි බවට පවසනනේද), පිරිස් මැද සිංහ නාදය කරන්නේද, බ්‍රහ්ම චක්‍රය හෙවත් අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන්නේද, එවැනි තථාගත බල දහයක් වෙයි.
පළමු තථාගත බලය-(ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති)
භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක. ඒ ඒ දෙයට අහේතුවද දන්නා සේක.  මෙසේ සිදුවන දේ සිදුවීමට හේතුවත් සිදුනොවන දේ සිදුනොවීමට හේතුවත් පිලිබඳ ඇත්ත ඇති සැටියෙන්ම දන්නා සේක. මේ උත්තම බලය ඇති තථාගතයන් වහන්සේ විසින් සෝවාන් වූ ආර්යයන් වහන්සේ නමක් කිසි විටෙක මව මැරීම පියා මැරීම ආදී ආනන්තරීය පාප කර්මයක් කිසි ලෙසකින් වත් සිදු නොකළ හැකි බව දන්නා සේක. එවන් ආර්ය ශ්‍රාවකයකු කිසි විටෙක මිත්‍යා දෘෂ්ටියකට පැමිණීම හෝ වෙනත් ශාස්තෘ කෙනෙක් පිළිගැනීම හෝ කිසිලෙසකින් වත් සිදු නොවන බව දන්නා සේක. එක් ලෝක ධාතුවක එකවර සම්මා සම්බුදු රජාණන් වහන්සේලා දෙනමක් පහල වීම කිසි ලෙසකින් වත් සිදු නොවන බව දන්නා සේක. එක් ලෝක ධාතුවක එකවර සක්විති රජ වරු දෙදෙනෙක් පහල නොවන බව දන්නා සේක. සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයා නැවත සත් වතාවකට වඩා භවයෙහි නූපදින බව දන්නා සේක. ආර්යයන් වහන්සේලාට පරිභවකොට (ආර්යෝපවාදය) නැවත සමාව නොගෙන කිසිවිටෙක ධ්‍යාන මාර්ග පල ලැබීමට නොහැකි බව දන්නා සේක. සිතින්,කයින්, මනසින් දුශ්චරිත කොට යහපත් ප්‍රතිවිපාක ලැබීමට හෝ සිතින් කයින් මනසින් සුචරිතයෙහි හැසිරීමෙන් දුෂ්ට විපාක ලැබීමට හේතු නැති බවද දන්නා සේක. මේ උතුම් තථාගත බලය ඇති තථාගතයන් වහන්සේ යමක් සිදු වන බව දේශනා කළහොත් ඒ එසේ නොවන බව අප තබා දෙවියන්ට වත් අඩු තරමින් මහා බල ඇති මහා සෘද්ධි ඇති  බ්‍රහ්ම රාජයන්ට වත් කරුණු සහිතව දැක්විය නොහැකිය (මේ විස්තරය අතිශය ගැඹුරු වූ මෙම බලය ඉතාම සංක්ෂේපයෙන් දැක්වීමක් පමණි, ධර්මයට අනුව විමසා බලමින් මෙම බලයෙහි මහත් බව දකිනු මැනවි.) මේ භාග්‍යවතුන් වහන්සේගේ පළමු තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක. අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.
දෙවන තථාගත බලය- (අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති)
අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයටම අයත් වන්නාවූ සියලුම කර්ම සමාදානයන්ට (පිළිපැදීම් වලට) හේතුවද, ඒ ඒ කර්මය සිදුවන ආකාරයද, එහි විපාකයද තථාගතයන් වහන්සේ විසින් දන්නා සේක. එනම් භවයෙහි දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය තිරිසන් ප්‍රේත අසුර නිරය ආදී සියලුම තලයන්හි අතීතයේ වූද වර්තමානයේ ඇත්තාවූද අනාගතයෙහි වන්නාවූද සියලුම කර්මයන්ට අදාලව ඒ ඒ සත්වයන් එම කර්ම සිදු කිරීමට හේතුව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. ඒ ඒ කර්මයන් සම්පූර්ණ වන ආකාරය භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ කර්මයන්හි විපාකය භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.  මේ භාග්‍යවතුන් වහන්සේගේ දෙවන තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.
තෙවන තථාගත බලය-(සබ්බත්ථ ගාමිනිං පටිපදං යථාභූතං පජානාති)
තථාගතයන් වහන්සේ සර්වත්‍ර ගාමිණි ප්‍රතිපදාව දන්නා සේක. සුගතිය සහිත දුගතිය සහිත භවයෙහි ඒ ඒ සුගති දුගති ස්ථාන වලට යාමට ඒ ඒ සත්වයන් අනුගමනය කල යුතු ප්‍රතිපදාවද විමුක්තිය සඳහා නිවන සඳහා වන ප්‍රතිපදාවද සර්වාකාරයෙන් දන්නා සේක. යමෙකු බ්‍රහ්මත්වය ලැබීම පිණිස කලයුත්තේ කුමක්ද, ශක්‍රත්වය ලැබීමට කල යුත්තේ කුමක්ද, මාර බව ලැබීම පිණිස ප්‍රතිපදාව කුමක්ද, රජ සැප ලැබීමට කලයුත්තේ කුමක්ද, ඒ ඒ ධ්‍යානය ලබන්නේ කෙසේද, ඒ ඒ මාර්ග පල ලබන්නේ කෙසේද, වෙනත් ලෝක ධාතුවක උපදින්නේ කෙසේද, වෙනත් ලෝක ධාතුවක සක්විති රජ සැප ලබන්නේ කෙසේද, තිරිසන් බව ලැබෙන, ප්‍රේත බවට පත්වන, නිරයෙහි වැටෙන ප්‍රතිපදාව කුමක්ද, ආදී වශයෙන් භවයෙහි කවර හෝ තලයක කවර හෝ සත්වයෙකු කවර හෝ තත්ත්වයකට පත් වීම පිණිස කලයුතු පිළිපැදිය යුතු ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. මේ උතුම් තථාගත බලය වනාහි අතිශය විශ්මයාවහ අනුත්තරීය බලයකි. අපට වැටහෙන අප විසින් අසන ලද සරල උපමාවකින් කියනු ලබන්නේ නම්, යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි “භාග්‍යවතුන් වහන්ස, අසවල් රටේ අසවල් කාලයෙහි රජ බවට පැමිණීමට මා කල යුත්තේ කුමක්ද?, මරණින් මතු අසවල් නමින් ඇති අසවල් සැප ඇති දේව නිකායෙහි මා උපත ලබන්නේ කෙසේද? මරණින් මතු මා මෙතන සිටින මේ එළදෙනගේම කුසෙහි වසු පැටවෙක්ව උපත ලබන්නේ කෙසේද? ආදී වශයෙන් විමසුවහොත්, ඒ ඒ තැනට පැමිණීමට අදාළ නිවැරදි ඒකාන්ත ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. යම් හෙයකින් එකී ප්‍රතිපදාවක් උන්වහන්සේ දේශනා කරන ලද්දේ නම් ඒ අනුවම පිළිපදින්නට ඒකාන්තයෙන්ම ඒ ප්‍රතිපලය ලැබෙන සේක. මේ භාග්‍යවතුන් වහන්සේගේ තෙවන තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.
සිව්වන තථාගත බලය- (අනෙක ධාතු නානා ධාතු ලෝකං යථාභූතං පජානාති)
භාග්‍යවතුන් වහන්සේ අනේක ධාතු නානා ධාතු සහිත ලෝකය පිලිබඳ යථාභූත ඥානය ඇති සේක. තථාගතයන් වහන්සේ ලෝකයෙහි අනේක වූ සත්ත්වයන් විෂයෙහි, මහා භූත රූප විෂයෙහි, පරිපූර්ණ වූ ඇත්ත ඇතිසැටියෙන්ම දන්නා සේක. සත්වයන් විෂයෙහි රූප,වේදනා ,සඥා, සංඛාර, විඥාන යන ස්කන්ධයන්ද  රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යනාදී ධාතු -ආයතන පිලිබඳ පරිපූර්ණව දන්නා සේක. කාම භවයෙහි ධාතූන් ගැන රූප භවයෙහි ධාතූන් ගැන අරූප භවයෙහි ධාතූන් ගැන නිරයෙහි ප්‍රේත යෝනියෙහි අසුර නිකායෙහි මනුෂ්‍ය ලොවෙහි ධාතූන් ගැන ඇත්ත ඇති සැටියෙන්ම දන්නා සේක. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන් ගැන සර්වාකාරයෙන් දන්නා සේක. සියලු සත්ත්ව තලයන් සහිතව, හිරු සඳු තරු ආදී වස්තූන් සහිතව, ගහ කොළ පස ආදී අංග සහිතව මහා විශ්වයෙහි ඇති චූලනිකා සහස්සී ලෝක ධාතුවද, මැදුම් සහස්සී ලෝක ධාතුවද, මහා සහස්සී ලෝක ධාතුවද දන්නා සේක දක්නා සේක. අනන්ත අප්‍රමාණ සක්වලයන් සහිත ලෝක ධාතූන් සහිත මහා විශ්වය සීමා රහිතව කාල අවකාශ සැපීම් රහිතව දන්නා සේක.
මේ උතුම් තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ විසින් මහා පන්ථක මහා රහතන් වහන්සේට මාස සතරකින් එක් ගාථාවක්වත් මතක තබා ගැනීම පිණිස මෙහෙයවීමට නොහැකි වූ චුල්ල පන්ථක සත් හැවිරිදි තෙරුන් වහන්සේ එක් වරුවක් තුල මහත් බලැති මහා රහතන් වහන්සේ නමක් කොට තම සිරුරෙන් මනෝමය ශරීර දහසක් එක වර මැවිය හැකි වූත්, බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය ඉදිරියේ සමස්ත ත්‍රිපිටකය අලලා අනුමෝදනා ධර්ම දේශනාවක් කිරීමට සමර්ථවූත් තැනට පත්වන ලෙස මෙහෙයවූ සේක. මේ භාග්‍යවතුන් වහන්සේගේ සතරවන  තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.
පස්වන තථාගත බලය- (සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති)
භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සත්වයන්ගේ නානාධිමුක්තිකතා දන්නා සේක. අධිමුක්ති යනු ඒ ඒ සත්වයන් තුල පවත්නා දැන ගැනීමට අතිශය දුෂ්කර අනුශය ධාතුවකි. ඒ ඒ පුද්ගලයන් පවා තම තමන් තුල පවත්නා මෙම ස්වභාවයන් නොදනිති. භාග්‍යවතු වහන්සේ ඒ ඒ සත්ත්වයන්ගේ මෙම ස්වභාවයන් පර්පූර්ණ කොට දන්නා නුවණ ඇති සේක. මේ තථාගත බලය ඇති තථාගතයන් වහන්සේ නිසාම මිනීමරු සොරකු වූ අංගුලිමාල සෘද්ධිමත් මහාශ්‍රාවක මහරහතන් වහන්සේ නමක් වූහ. ආලවක යක්ෂ තෙම නිවන් අවබෝධ කළහ. මායා ශාස්ත්‍ර වලට ඇලුම් කල පිලින්දිවච්ඡ තෙම රහතන් වහන්සේ නමක් විය. අම්බපාලි ගණිකාව නිවන් අවබෝධ කළහ. සත් හැවිරිදි සෝපාක රහත් බව ලැබීය.
මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ ශ්‍රාවකයාට සුදුසුම කමටහන් දෙන සේක. නුසුදුසු කමටහන් නොදෙන සේක. දිව්‍ය ඇස ලැබූ සුනක්ඛත්ත භික්ෂුවට දිව්‍ය කන ලැබීම උදෙසා කමටහන් නොදුන් සේක. ඉහතින් දක්වන ලද චුල්ල පන්ථක මහා රහතන් වහන්සේගේ සහ “ලකුණ්ඨක භද්දිය” වැනි රහතන් වහන්සේලාගේ කථාද කියවා බලන්නේ නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේ හීනාධිමුක්තික (සන්තානයෙහි සැඟවුණු පහත් අදහස් ඇති), ප්‍රණීතාධිමුක්තික (සන්තානයේ සැඟවුණු උසස් අදහස් ඇති) සත්ත්වයන් දන්නා සේක. මේ භාග්‍යවතුන් වහන්සේගේ පස්වන  තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.
සයවන තථාගත බලය- (පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති)
තථාගතයන් වහන්සේ අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රියයන්ගේ තත්ත්වය ඇති සැටියෙන්ම දන්නා සේක.
සියලුම සත්ත්වයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඥානය පවතී.  උන්වහන්සේ සියලු සත්ත්වයන්ගේ ආශය(අදහස්) දනිති. අනුශය දනිති. අධිමුක්තිය දනිති. නුවණැසෙහි අල්ප වූ රාගාදී කෙලෙස් රජස් ඇති වූද, මහත් වූ කෙලෙස් රජස් ඇති වූද, තියුණු දියුණු ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වූද, මෘදු සුන්දර ශ්‍රද්ධාදී ආකාර ඇති වූද, ගර්හාවට සුදුසු වූ අශ්‍රද්ධාදී  ඉඳුරන් ඇති වූද, අවබෝධ කරන නුවණ ඇති වූද, අවබෝධ කරන නුවණ මද වූද, මගඵල ලද හැකි වූද, වර්තමාන භවයේදීම මගඵල ලද නොහැකි වූද සත්ත්වයන් දැනගන්නා සේක.
භාග්‍යවතුන් වහන්සේගේ  අනුත්තරීය ධර්ම දේශනය වනාහි අසන්නා වූ  අප්‍රමාණ ලෝක ධාතු වල අපමණ වූ ඒ ඒ සියලුම සත්ත්වයන්ගේ ශ්‍රද්ධාවට විරියට සතියට සමාධියට ප්‍රඥාවට ගැලපෙන පරිදිම, ඒ සියලු සත්ත්වයන් ගේ ඉන්ද්‍රිය ධර්ම නුවණින් දැකබලා දේශනා කරන සේක. උන්වහන්සේගේ එකම දේශනය අසන අප්‍රමාණ සත්ත්වයන්ට එනිසාම භාග්‍යවතුන් වහන්සේ තමන්ටම, තමන් උදෙසාම ධර්මය දේශනා කරන්නේය යන අදහස ඇති වෙයි.  මේ භාග්‍යවතුන් වහන්සේගේ සයවන  තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.
සත්වන තථාගත බලය- (ඣාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති)
භාග්‍යවතුන් වහන්සේ සියලුම ධ්‍යානයන්, සියලු විමොක්ෂයන් (අෂ්ට විමොක්ෂයන්ය), සියලු සමාධි, සියලු සමාපත්ති(අෂ්ට සමාපත්ති ආදී අනෙකවිධ වූ සමාපත්ති) වල කිලිටි වීම, ඒ ධර්මයන් ලබා ගැනීම, ඒ ඒ ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්ති ධර්මයන්ට සමවැදී ඒවායින් නැගී සිටීම(සමාධියෙන් ඉවත් වීම) පරිපූර්ණ වශයෙන් දන්නා සේක. උන්වහන්සේ සකල සමාධි ධර්මයන්ගේ පරිපූර්ණ වූ වශී භාවය (සියලු ආකාරයෙන් නිපුන බව සහ ශීඝ්‍ර බව) ඇත්තේ වෙයි. (මේ පිලිබඳ වැඩි විස්තර දැන ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ “යමක මහා ප්‍රාතිහාර්යය” පිළිබඳවද විස්තර සහිතව කියවීම සුදුසුය). භාග්‍යවතුන් වහන්සේ සමාපත්ති මට්ටම් කෝටි ලක්ෂ විසිහතරකට සමවදින බව කියනු ලැබේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ සත්වන  තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.
අටවන තථාගත බලය-(අනෙක විහිතං පුබ්බේනිවාසං අනුස්සරති)
තථාගතයන්වහන්සේ සීමා රහිතව අතිශය ශීඝ්‍රව පෙර විසූකඳ පිළිවෙල (පෙර ජාතීන් සිහි කිරීම) දක්නා නුවණ ඇති සේක.  භාග්‍යවතුන් වහන්සේ කල්ප ගණනින්, අසංඛ්‍ය ගණනින් ප්‍රමාණ රහිතව පෙර ජාතීන් සිහිකරන සේක. සිහි කල හැකි සේක. අසවල් කාලයෙහි අසවල් නමින් අසවල් තැන අසවල් භවයෙහි අසවල් සැප දුක සහිතව අසවල් පිරිස සමග මාපියන් සමග දෙවියන් සමග උපන් බව, සිටි බව එහි පැමිණියේ අසවල් තැනින් මිය ගොස් බව, අසවල් නම් ගෝත්‍ර චාරිත්‍ර ඇති වූ බව, අසවල් ක්‍රියා කල බව නිරවුල්ව පරිපූර්ණව දකින සේක. සමහර ශ්‍රාවකයන්ටද මෙම පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබෙන නමුත් ඒ සීමා සහිතවය. භාග්‍යවතුන් වහන්සේ විෂයෙහි මෙම ඥානයට සීමාවක් නැත. බුදු සසුනෙහි භාග්‍යවතුන් වහන්සේට පසුව ඉහලම පුබ්බේනිවාසානුස්සති ඥානය ලැබුවේ අති උත්තම වූ යශෝධරා (භද්ද කච්චායනා) රහත් තෙරණින් වහන්සේය. යශෝධරා තෙරණින් වහන්සේට කල්ප අසංඛ්‍ය විස්සක් ආපස්සට බැලිය හැකි පුබ්බේනිවාසානුස්සති ඥානය තිබිණ. මහා බෝධිසත්වයන් වහන්සේගේ මනෝ ප්‍රණිධානයේදී පළමුව හමු වූ “බ්‍රහ්මදේව සම්මා සම්බුදු රජාණන් වහන්සේ” පිළිබඳවත් වාග් ප්‍රණිධානයේදී හමුවූ “පුරාණ ගෞතම” සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිළිබඳවත් මහෝත්තම වූ යශෝධරා තෙරණින් වහන්සේ ප්‍රකාශ කර තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ මෙම නුවණෙහි කාල සීමාවක් හෝ සිහි කිරීමෙහි වේග සීමාවක් නැති බව දත යුතුය.
මේ භාග්‍යවතුන් වහන්සේගේ අටවන  තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.

නව වන තථාගත බලය-(දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්ත මානුසකෙන සත්තේ පස්සති වචමානෙ උප්පජ්ජමානේ හීනෙ පණීතේ සුවණ්ණෙ දුබ්බන්නෙ යථා කම්මූපගේ සත්තේ පජානාති)
තථාගතයන් වහන්සේ විසින් මිනිස් ඇස ඉක්මවා සිටි පිරිසිඳු දිව්‍යමය ඇසින් චුතවන (මියයන) නැවත උපදින සත්ත්වයන් දකින සේක. භාග්‍යවතුන් වහන්සේගේ මෙම ඥානයට විශ්වයෙහි ලෝක ධාතුන්ගේ අවකාශමය සීමාවක් නැත. පහල බ්‍රහ්ම තලයන්ට අධිපති මහා බ්‍රහ්ම රාජයාටද මෙම බලය සීමා සහිතව තිබේ. ඔහුට තිරසින් සක්වල දහසක සත්වයන් ඔහුගේ බ්‍රහ්ම තලයෙන් පහලට පමණක් දැකිය හැකිය. බුදු සසුනෙහි ශ්‍රාවකයන් වහන්සේලාගේ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ මෙම ඥානය ඊට වැඩිය. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ චුතූපපාත ඥානය වනාහි අවකාශ වශයෙන්ද, සත්ත්ව තල වශයෙන්ද අසීමිතය. උන්වහන්සේගේ ඥානය විහිදෙන අවකාශය ගනින්නේ “බුද්ධ ක්ෂේත්‍ර” නමිනි. එහි සීමාවක් නැත. උන්වහන්සේගේ මූලික ආසන්න බුද්ධ ක්ෂේත්‍රය වන “මහා සහස්සී ලෝක ධාතුව පමණක් “සක්වලයන් කොටි ලක්ෂයකි”. සත්වයන්ගේ උපත චුතිය දකින භාග්‍යවතුන් වහන්සේගේ ඥානය අසීමිතය.
තථාගතයන් වහන්සේ මේ උතුම් බලයෙන් උසස් වූද-පහත් වූද, හීන වුද-ප්‍රණීත වූද, මනා රූප ඇත්තා වූද- විරූපී වූද, සුගතියට ගියා වූද- දුගතියට ගියා වූද, සත්ත්වයන් බලන සේක. අහෝ! මේ සත්ත්වයෝ කයින් පව්කම් කොට, වචනයෙන් පව්කම් කොට, මනසින් පව්කම් කොට, ආර්යයන්ට නිගරු කොට, මිත්‍යාදෘෂ්ටියෙහි පිහිටා, මිත්‍යාදෘෂ්ටිය අනුව සමාදන් වූ විවිධ කර්ම ඇති වූහ. ඔවුහු කය බිඳීමෙන් මරණින්  මතු සුව රහිත වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණියාහු වෙති. දුක් ඇති තිරිසන් යෝනියෙහි, ප්‍රේත යෝනියෙහි උපන්නෝ වෙතියි දකින සේක.
තවද, ඇතැම් සත්ත්වයෝ, කයින් වචනයෙන් මනසින් පින්කම් කොට, කාය සුචරිතයෙහි හැසිරී, වචනයෙන් සුචරිතයෙහි හැසිරී, මනසින් සුචරිතයෙහි හැසිරී, ආර්යෝපවාද නොකොට (ආර්යයන්ට ගැරහීම නොකොට), සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා, සම්‍යග් දෘෂ්ටිය අනුව සමාදන් වූ කර්ම ඇති වූහ. ඔවුහු, කය බිඳීමෙන් මරණින් මතු සුන්දර ගති ඇති, සැපයෙන් අග්‍ර වූ ලෝකයන්හි උපන්නෝ වෙතියි, මෙසේ කර්ම විපාක පරිදි ඒ ඒ තැනට පැමිණි (පරලොවට පැමිණි) සත්වයන් දැනගන්නා සේක. දකින සේක.
මේ භාග්‍යවතුන් වහන්සේගේ නවවන  තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.
දස වන තථාගත බලය-(ආසවානං ඛයා අනාසවං චේතෝ විමුක්තිං පඤඤා විමුක්තිං දිට්ඨෙව ධම්මෙව සයං අභිඤඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.)
තථාගතයන් වහන්සේ කෙලෙස් නැති කිරීමෙන් ආශ්‍රව රහිතව අනාශ්‍රව (නිකෙලෙස්) වූ සිතේ විමුක්තිය (අනුත්තරීය වූ සමාධිය සහිතව)ද, අනුත්තරීය වූ ප්‍රඥා විමුක්තියද (සකල විධ පරිපූර්ණ විදර්ශනා ඥාන සහිතව), මේ භවයෙහි දීම තමන් වහන්සේ විසින්ම ස්වකීය ශක්තියෙන්ම අවබෝධ කොටගෙන, සාක්ෂාත් කොටගෙන වාසය කරන සේක.
මේ භාග්‍යවතුන් වහන්සේගේ දසවන  තථාගත බලයයි. මේ උතුම් වූ තථාගත බලය ඇති භාග්‍යවතුන් වහන්සේ බලවත් ක්ෂත්‍රීයයන් සහිත, මහත් දැනුමැති බ්‍රාහ්මණයන් සහිත, ගෘහපතීන් සහිත, මහත් බල ඇති ශ්‍රමණයන් සහිත, චාතුර්මහාරාජික දෙවියන් සහිත, තව්තිසාවැසි දෙවියන් සහිත, දෙවියන් අතර බලවත් මාර පිරිස සහිත, මහත් ආනුභාව ඇති මහා සෘද්ධි ඇති බ්‍රහ්මයන් සහිත අට පිරිසෙහි එම අට පිරිස තමන් වහන්සේ පය තබා සිටගත් පොලව මෙන් යට කරගෙන අතිශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක. සිංහ නාද කරන සේක.අනුත්තරීය වූ ධර්ම චක්‍රය පවත්වන සේක.

දීඝ නිකාය අටුවාව(සුමංගල විලාසිනී)තථාගත පදය අට ආකාරයකින් විස්තර කර තිබේ.
i. තථා ආගතොති තථාගතො -
භාග්‍යවතුන් වහන්සේ පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ආ පරිදිම ආ බැවින් තථාගත නම වෙති.
පෙර ලොවුතුරා සම්මා සම්බුද්ධත්වයට පැමිණි බුදුවරයෝ සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඔවුන් දුකින් මුදවීමේ අරමුණින්, සකල සත්වයන්ට යහපත සැලසීමේ අදහසින් මහත් උත්සාහයෙන් පැමිණිසේක. සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන අතීත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද එසේම පැමිණි සේක. යම් උතුම් වූ අරමුණින් ඒ පෙර බුදුවරයෝ පැමිණියාහුද, අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේද ඒ අරමුණින්ම, ඒ බලාපොරොත්තුවෙන්ම ආහ. යම්සේ පෙර ඒ බුදුවරයෝ දාන, ශීල, නෙක්ඛම්ම, ප්‍රඥා, විරිය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දශ පාරමීධර්මයන්, දශ උප පාරමී, දශ පරමාර්ථ පාරමී සහිතව සම්පුර්ණ කොට, අනේක පරිත්‍යාගයන් කොට, අනන්ත කාලයක් සසරෙහි නොපසුබසිනා වීර්ය කොට ආවාහුද, අප බුදුරජාණන්වහන්සේද එසේම ආ සේක. යම්සේ අතීත බුදුවරයෝ, සතර සතිපට්ඨානයන්, සතර සෘද්ධි පාදයන්, සතර සම්මප්පධානයන්, පංච ඉන්ද්‍රියයන්, පංච බලයන් , සප්ත බෝධිඅංගයන් වඩා  අනුත්තරීය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද වඩා ආවාහුද අපගේ භාග්‍යවතුන් වහන්සේ ද එසේම ආ සේක. මෙසේ පෙර බුදුවරයන් ආ ලෙසම ආ බැවින් භාග්‍යවතුන් වහන්සේ “තථාගත” නම වෙති
ii. තථා ගතොති තථාගතො
භාග්‍යවතුන් වහන්සේ පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගිය පරිදිම ගිය බැවින් තථාගත නම වෙති.
විපස්සී, සිඛී, වෙස්සභූ , කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන මහාබෝධිසත්වයෝ මවුකුසින් බිහිවූ කෙණෙහිම සම වූ පතුල්වලින් පොළොවෙහි සිට සියලු දිශාවන් බලා දෙවියන් විසින් චාමර සේසත් ඔසවා සිටියදී උතුරු දිශාව බලා සත පියවරක් ඉදිරියට ගමන කොට “අග්ගෝ හමස්මි ලෝකස්ස” යනාදීන් අභීත වූ සිංහනාදයක් කළහ. අප සිද්ධාර්ථ ගෞතම මහා බෝධිසත්වයන් වහන්සේද එසේම ගමන් කොට සිංහනාද කළහ. මහබෝධිසත්වයන්ගේ මේ ගමන නොයෙක් ආකාරයේ විශේෂාධිගමයන්ට පෙරනිමිති වන උත්තම වූ ගමනකි. බිම පය තබන සෙස්සන්ගේ පතුල් සෑම තැනම පොළොවෙහි සැපී නොපිහිටයි. මහා බෝසතුන්ගේ පතුල් සෑම තැනම, සම්පූර්ණයෙන්ම පොළොවෙහි සැපී සිටින සේ බිම පිහිටයි. මෙසේ මහා බෝධිසත්වයන් වහන්සේලාගේ පතුල් උපන් කෙණෙහිම සැම තැනම බිම ස්පර්ශ වන සේ සම්පූර්ණයෙන් පොළොවෙහි පිහිටීම උතුම් වූ “සතර සෘද්ධි පාද” ලැබීමේ පෙරනිමිත්ත වෙයි. උතුරු දිශාවට ගමන් කිරීම සියලු ලෝකෝත්තර ධර්මයන් ලැබීමේ පෙරනිමිත්තය. සත්පියවරක් ගමන් කිරීම සප්ත බෝධිඅංග රත්නයන්ගේ ප්‍රතිලාභයට පෙරනිමිත්තය. රන්දඬු ඇති චාමර එසවීම සියළු තීර්ථකයන් මැඩලීමට පෙරනිමිත්තය. ශ්වේතඡත්‍රය දැරීම අරහත් ඵල විමුක්ති සංඛ්‍යාත ශ්වේතඡත්‍රය ලැබීමේ පෙරනිමිත්තය. සියළු දිශාවන් බැලීම උතුම් වූ අනාවරණ සර්වඥතාඥානය ලැබීමේ පෙරනිමිත්තය. අභීත සිංහනාදය කිරීම කිසිවකු විසින් පෙරළිය නොහෙන අනුත්තරීය ධර්මචක්‍රය පැවැත්වීමේ පෙරනිමිත්තය. මෙසේ නොවරදින පෙරනිමිති ඇති, එනම් නොවැරදීම සිදුවන කරුණු වලට පෙරනිමිති වන ගමනක් උපන් කෙණෙහිම ගිය බැවින් භාග්‍යවතුන්වහන්සේ තථාගත නම් වෙති.
තවද, භාග්‍යවතුන් වහන්සේ පෙර බුදුවරයන් වහන්සේලා මෙන්ම නෙක්ඛම්මයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය කොට, අව්‍යාපාදයෙන් ව්‍යාපාදය ප්‍රහාණය කොට, ආලෝක සඥාවෙන් ථීනමිද්ධය ප්‍රහාණය කොටකොට, අවික්ෂේපයෙන් උද්ධච්චකුක්කුච්චයන් දුරුකොට, ධර්මව්‍යවස්ථාවෙන් විචිකිච්ඡාව දුරු කොට, ඥානයෙන් අවිද්‍යාව දුරු කොට ගියහ. ප්‍රීතියෙන් අරතියද, ධ්‍යානයෙන් නීවරණයන්ද දුරු කොට ගියහ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන්ගෙන් සකල ක්ලේශයන් ප්‍රහාණය කොට පරම සුන්දර නිර්වාණයට ගියහ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.
iii. තථ ලක්ඛණං ආගතොති තථාගතො
භාග්‍යවතුන් වහන්සේ තථ නම්වූ නම් වූ සත්‍යයට පැමිණි හෙයින් තථාගත නම් වෙයි.
තථ යනු සත්‍යයට නමකි. නාමරූපයන්ගේ නියම ලක්ෂණයන් සැබෑ ලක්ෂණයන් දැනගැනීම දුෂ්කරය.  දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මිනිසුන් සහිත අනේකවිධ සත්ත්ව ප්‍රජාවෝ මෙම නාමරුපයන්ගේ සැබෑ තතු නොදැන නොදැක සත්ත්ව පුද්ගල වශයෙන් ඒවා ගෙන රැවටී සිටිති. එනමුත් භාග්‍යවතුන් වහන්සේ වනාහි නාම රූපයන්ගේ තතු මැනවින් දැන, පරිපූර්ණව අවබෝධකොටවදාළ හෙයින්  නාම රූපයන්ගේ සැබෑ ස්වභාවය හෙවත් තථ ලක්ෂණය දැන ගත් අරුතින් තථ ලක්ෂණයට ඥානයෙන් පැමිණි අරුතින් තථාගත නම් වන සේක
iv. තථධම්මෙ යථාවාතො අභිසම්බුද්ධොති තථාගතො
භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්ය සත්‍යය, සමුදයාර්ය  සත්‍යය, නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය යන උතුම් වූ චතුරාර්ය සත්‍යයට අවබෝධ කිරීම් වශයෙන් පැමිණි බැවින් තථාගත නම් වන සේක.
දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයෝ සතරදෙන එසේම ඇති බැවින් තථ ධර්ම නම් වෙති. කිසිකලෙක කවර හේතුවකින් වත් අසත්‍ය නොවන බැවින් “අවිතථ” නම් වෙති. අන් කවරාකාරයෙන්වත් නොවන බැවින් “අනන්‍යථ” ධර්ම  වෙති. මෙසේ ඒකාන්ත වශයෙන් ඇති බැවින් තථ නම් වූ අන්ලෙසකින් පැනවිය නොහෙන චතුරාර්යසත්‍යය ධර්මය ඇතිසැටියෙන්ම අවබෝධ කල බැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වන සේක.
v. තථ දස්සිතාය තථාගතො
භාග්‍යවතුන් වහන්සේ නොරැවටී සත්‍ය ඇති සැටියෙන්ම දකින ලද බැවින් තථාගත නම් වන සේක.
සියලු රූප ශබ්ද ආදී සංස්කාර ධර්මයන් ආත්ම වශයෙන් නිත්‍ය වශයෙන් ගෙන දෙවියන් බඹුන් සහිත සත්ත්ව ප්‍රජාව රැවටී සිටින කල්හි භාග්‍යවතුන් වහන්සේ එසේ නොරැවටී සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දුටු බැවින්, ඒ යථාභූතඤාණයට පැමිණි බැවින් තථාගත නම් වන සේක.
vi.තථ වාදිතාය තථාගතො
භාග්‍යවතුන් වහන්සේ සත්‍යය පමණක් ම කියන ලද බැවින් තථාගත නම් වන සේක.
යම් දිනෙක පස් මරුන් පරදා කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වීද, යම් දිනෙක සම්බුද්ධ පරිනිර්වාණය සිදු වීද ඒ අතර භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කරන ලද නම්, පවසන ලද නම් ඒ සත්‍යයක්ම විය. නොවරදින දෙයක්ම විය. කිසිවිටෙක අන්ලෙසකින් නොවීය. නොවරදින සැබෑම සත්‍යය පමණක් කියන ලද හෙයින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වන සේක.
vii. තථා කාරිතාය  තථාගතො
භාග්‍යවතුන් වහන්සේ කියන ලද පරිදිම කරන ලද  බැවින්ද, කරන ලද පරිදිම කියන ලද බැවින්ද තථාගත නම් වන සේක.
තථාගතයන් වහන්සේගේ සියලු ක්‍රියාවෝ උන්වහන්සේගේ වචනය පරිදිම විය. උන්වහන්සේගේ සියලු වචනය උන්වහන්සේගේ ක්‍රියාව පරිදිම විය. උන්වහන්සේ පරිපූර්ණ වශයෙන්ම “යථාවාදී තථාකාරී-යථාවාදී තථාකාරී” වූ සේක. එබැවින් උන්වහන්සේ තථාගත නම් වන සේක.
viii. අභිබවනට්ඨෙන තථාගතො
භාග්‍යවතුන් වහන්සේ නොවරදින බෙහෙත හෙවත් “තථ අගද” දුන් බැවින් තථාගත නම් වෙති.
භාග්‍යවතුන් වහන්සේගේ අනූපම දේශනා විලාශය, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම පුරා ලැබූ ආර්ය ශීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා ස්කන්ධයන් නමැති අනන්ත අප්‍රමාණ වූ පොළොවෙන් පැන නගින දහම් ඖෂධයෙන් සසර දුකට පිළියම් කරන ලද බැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වන සේක.
තථාගත වූ දස බලධාරී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා!!!
තෙරුවන් සරණයි!!!
සසිත් රාජසූරිය
මූලාශ්‍ර-
දීඝ නිකාය (ස.ජ.ත්‍රි.ග්‍ර.මා.)
මජ්ඣිම නිකාය(ස.ජ.ත්‍රි.ග්‍ර.මා.)
සූවිසි මහා ගුණය (අතිශය ගෞරවාර්හ පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි)
ආතාපි වෙබ් අඩවියේ ධර්ම දේශනා /පින්වත් කල්‍යාණ මිත්‍ර සමින්ද රණසිංහ දෙටු සොහොයුරා – (www.aathaapi.org)
.