භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

අසිරිමත් සම්බුදු ගුණ සිහි කරමු

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උප කුලපති 

මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

බුදුරජාණන් වහන්සේගේ අසමාන ගුණයන් ගැන අපි නිතර කතා කරනවා. අපි බෝධිපූජා ආදිය පවත්වනකොට උන්වහන්සේ පිළිබඳ කරුණානිධාන, අසමසම, පරදුක්ඛ දුක්ඛිත, මහාකාරුණික, දේවාතිදේව, බ්‍රහ්මාතිබ්‍රහ්ම ශක්‍රාතිශක්‍ර ආදි වදන් රැසක්ම ඒ අතර වෙනවා. ඉතින් අපි හිතලා බලන්නට ඕන ඒක කොහොමද වෙන්නේ කියලා? එහෙමත් නැති නම් ඇයි අපි එහෙම බුදුරජාණන් වහන්සේ ගැන එවැනි සඳහනක් කරන්නේ කියලා. අපි යමක් ගැන පිළිගැනීමක් ඇති කර ගත යුතු වන්නේ ඒ කාරණය පිළිබඳ මැනවින් සිතා විමසා බලලා. ඒක තමා අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත්.
අරක්ඛෙය්‍ය ගුණ
බුදුරජාණන් වහන්සේගේ මේ අසාමාන්‍ය ගුණ පිළිබඳ ප්‍රකාශ වන සූත්‍රයක් අපට හමුවෙනවා ‘අරක්ඛෙය්‍ය’ යනුවෙන්. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණ හතක් කියැවෙනවා. ඒ අනුව එහි අරක්ඛෙය්‍ය ( නො රැකිය යුතු) ගුණ හතරක් තිබෙනවා.
පළමුවැනි ගුණය ලෙස කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කය සංවරව පවත්වාගෙන යාමයි. මොකක්ද? එහි විශේෂත්වය. අපි ජීවත් වන සමාජයේ අපට බොහෝම කාය සුචරිතය ඇතිව ඉන්න කියලා තමා උගන්වන්නේ, ධර්මදේශනා කරන අපේ හාමුදුරුවරුන් නිතරම ඒ ගැන අපට කියා දෙනවා. එහෙම කාය සුචරිතයෙන් යුතුව ඇතැම් පිරිස් ඉන්න බවත් පේනවා.
අපිත් ඒ අය ගැන එහෙම විශ්වාසයක් තබනවා. ඒ අය ගැන සමාජයේ ලොකු කීර්තියකුත් තිබෙන්නට පුළුවන්. කවදාවත් පරපණ නසන්නේ නැතිව, අනුන්ගෙ දේ කඩාවඩා ගන්නේ නැතිව, නිවැරදි රැකියාවල් ම කරන, දුරාචාර ගති නැතිව පෙර අඹු පරපුරුෂ සේවනයක් නැති, මතින් වැළකී සිටිනවා කියලා. එහෙම සිතන ඇතැම් කෙනෙක් රහසින්, ගුප්ත විදියට, එක්කෝ ඈත වෙන පළාතකට ගොස් වෙස්වළාගෙන හරි විදේශයකට ගිහින් හරි හොර රහසේ ම එවැනි දුශ්චරිත වැඩ කරමින් එහෙත් අප දන්නා සමාජයේ කීර්තිමත් යහපත් ප්‍රතිරූපයක් දක්වලා ක්‍රියා කරනවා වෙන්නත් පුළුවනි. ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ කාය සමාචාර ගති ඒ වීදියට නොවෙයි. උන්වහන්සේගේ අබමල් රේණුවක තරමින් වත් රහස් පැවැත්මක් ව්‍යාජ පැවැත්මක් ඇත්තේ ම නැහැ.
උන්වහන්සේගේ ගුප්ත චරිතය, විවෘත චරිතය කියලා දෙකක් නැහැ. ඒ ආකාරයෙන් ම උන්වහන්සේගේ වචනයත් උත්තරීතර වචනයක් ම වෙනවා. ඒ එක වචනයක වුණත් මෙලොවට පරලොවට වැඩ සාදන අර්ථ රැසක් ම තිබෙනවා. ඒ වචන තුළ කරුණාව දයාව ඉතිරී පැතිරී යනවා.
උන්වහන්සේගේ වදන්වැල තුළ හිස් ගතියක් හරි, තවත් කෙනෙකුගේ සිත රිදවන පරුෂ ගතිය හෝ ව්‍යාජ ගතියක්, අනුන් රවට්ටන සුළු ස්වභාවයක් ඇත්තෙත් නැහැ. එකිනෙකා බිඳු වන වචන කියන්නේත් නැහැ.
උන්වහන්සේගේ එවැනි අදහසකුත් නැහැ. ඒ විදියටමයි උන්වහන්සේගේ මනස, එහෙම කියන්නේ උන්වහන්සේ මනස දුෂ්‍ය කර ගත් අයෙක්, නො වෙයි. මනස දූෂ්‍ය වන්නේ සිතට මූලික වශයෙන් ම බලපාන සිතෙහි ඇති වන ලෝභ, ද්වේෂ, මෝහ යන මේ චෛතසික හා බැඳුණු විවිධාකාර හේතු රාශියක් නිසයි.
අබමල් රේණුවකින් උන්වහන්සේගේ සිතට එවැනි බලපෑමක් ඇති කරන්නේ නැහැ. උන්වහන්සේගේ මිථ්‍යා එහෙම නැත්නම් වැරදි පැවැත්මක් රහසිගතවවත් නැහැ. ඒ නිසා ම උන්වහන්සේ පිළිබඳව “අරහං” යන ගුණයත් ප්‍රකාශ වෙනවා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ගත කරන්නේ එවැනි උදාර පරෝපවාද රහිත නිවැරදි අසාමාන්‍ය පැවැත්මක් ඇති ජීවිතයක්. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ඔය කියපු මිථ්‍යා ජීවිත පැවතුම් ඇති එහෙත් සමාජයේ සම්මා ආජීවයෙන් ජීවත් ව සිටින බව පෙන්වමින් ලාභ ප්‍රයෝජන ලබමින් ජීවිත ගත කළ අය කොතෙකුත් සිටියා.
මෙන්න මේ විදියට ඒ ගුණ හතර කියැවෙනවා, පිරිසුදු කාය සංවරය, වචී සංවරය, මනො සංවරය හා සම්මා ආජීවය යන හතර බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ කියන පළමු කොටසට ගැනෙන “අරක්ඛෙය්‍ය” ලෙස මෙම සූත්‍රයේ මුලින් ප්‍රකාශ වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ “අනුපවද්‍ය”එහෙම නැත්නම් “අනුවජ්ජ” ගුණ තුනක් කියැවෙනවා. මේ ගුණ තුනයි මුලින් හිතලා දුන්නු “අරක්ඛෙය්‍ය” ගුණ හතරයි එක් වූ විට මෙම අරක්ඛෙය්‍ය සූත්‍රයේ කියන ගුණ හත සම්පූර්ණ වෙනවා.
අනුපවද්‍ය හෙවත් අනුපවජ්ජ ගුණ
දැන් අපි ඊළඟට සොයා බලන්නට අවශ්‍ය වෙනවා මොනවාද මේ පසුව පෙන්නා දුන්න ‘අනුපවද්‍ය’ ‘අනුපවජ්ජ’ ගුණ කෙබඳු ද? කියලා. අනුවද්‍ය හෙවත් අනුපවජ්ජ කියලා කියන්නේ උපවාද නො කිරීම හෙවත් කෙනෙකුට චෝදනා නො කිරීම යන අදහසයි.
පළමුවන අනුවද්‍ය ගුණය ලෙස සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් වසර 45 ක් තුළ දේශනා කරන ලද ධර්මයේ ‘ස්වාක්ඛාත’ ගුණය යි. ඒ කියන්නේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ දක්නට ඇති ‘මනාකොට දේශනා කරන ලද’ කියන ගුණයයි. ඒ අනුව මේ ලෝකයෙහි දක්නට ලැබෙන ඒ කාලයෙහි විසූ ශ්‍රමණ කොටසට වැටෙන අයෙක්වත්, බ්‍රාහ්මණ වංශයෙහි අයෙක්වත් දෙවියෙක්වත්, මාරයෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, වෙනත් කවර ම වූ අයෙක්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසවල්, අසවල් කාරණය නිසා ස්වාක්ඛාත එහෙම නැත්නම් මුල මැද හා අවසාන ය යහපත් ලෙසින් ම ප්‍රකාශ වෙන වෙනත් කිසිදු වැරදීමක් දුෂ්‍ය ගතියක් ඇතිව දේශනා කරපු දෙයක් නොවෙයි කියලා හරි, අර්ථයක් නැතැ හිස් ධර්මයක් කියලා කෙනෙකුට කියන්නට බැහැ. හැම ආකාරයෙන් සුපිරිසුදු ධර්මයක්මයි.
මේ නිසා බුදුරජාණන් වහන්සේ සමඟ වාදයට ඇවිත් අවසානයේ උන්වහන්සේගේ ම ශ්‍රාවක බවට පත්වෙලා ක්‍රියා කළ සච්චක, පොට්ඨපාද බ්‍රාහ්මණ, වෙළුද්වාර, අස්සලායන, වච්ඡගොත්ත, මානත්ථද්ධ, අග්ගිකභාරද්වාජ, ජානුස්සෝනි වැනි සුප්‍රකට පිරිස් සහිත බමුණන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සැක සංඛා මතුකොට එහි ස්වාක්ඛාත ගුණයට අභියෝග කළ ආකාරය අපට බෞද්ධ සූත්‍ර දේශනාවන් තුළ අසන්නට ලැබෙනවා. අන්තිමට ඒ හැම බමුණෙක්, ශ්‍රමණයෙක්ම, බුදුරජාණන් වහන්සේ වෙතින් තිසරණ පිහිට කර ගත් බුද්ධශ්‍රාවකයන් බවට පත් වෙලා බුදුදහමෙහි කියැවෙන විමුක්තිය මාර්ගයට පිවිසෙන්නට උත්සාහ කරන්නට පටන් ගත්තා.
දෙවැනි අනුපවද්‍ය ගුණය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ තවත් වැදගත් අදහසකි. උන්වහන්සේ ප්‍රකාශ කරනවා උන්වහන්සේ විසින් මෙම සසර ජීවත් වන තම ශ්‍රාවකයන් වහන්සේලාට ‘මහණෙනි, මෙන්න මේ ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත් කමක් තියෙනවා. මේ ආකාරයෙන් ඔබලා ක්‍රියා කළොත් නුඹලාටත් මේ නිවන් මඟට පිවිසීමට පුළුවන් කම ලැබෙනවා.
එවිට තමන්ගේ සන්තානයෙහි තමන්ට කරදර ඇති කරන සසර දිගු කරන නිවන්මග අවුරණ කෙලෙස් දුරුවෙනවා. චෙතොවිමුත්තිය සිත නීවරණය වැනි තත්වයන්ගෙන් මුදා ගැනීම, මෙන් ම පඤ්ඤා විමුත්තිය අනාගාමි ඵලයේ සිට රහත් ඵලයට පත්වීමත් සමඟ ඇතිවෙන මානසික තත්ත්වයකි. මේ ආත්මයේ දීම ලබන්නට පුළුවන් කම තිබෙනවා. ඒ අනුව නුඹලා පිළිපැදිය යුතුයි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට පැනවීමක් කළහම ඒ අය කවර ම දාකවත් චෝදනා කරන්නේ නැහැ.
“බුදුරජාණන් වහන්සේගේ පැනවීම මනා කොට සිදු වූවක් නොවේ කියා ඒ ශ්‍රාවකයෙක්වත්, දෙවියෙක්වත්, මාරයෙක්වත්, බ්‍රහ්මයෙක්වත් කවර ම අයෙක්වත් චෝදනා කරන්නේ නැහැ. ‘එයින් කියැවෙන සරල අදහස නම් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ධර්මයේ හැසිර ඒ අනුව ක්‍රියා කරන කිසිදු අයෙක් උන්වහන්සේ ඒ මග හරිහැටි අපට පැනවූවේ නැහැ කියා චෝදනා නො කරන බවයි.
එමෙන් ම ඊළඟ තෙවැනි අනුපවද්‍ය ගුණය වන්නේ බුදුරජාණන් වහන්සේගේ නොයෙක් ශ්‍රාවක පිරිස් ආශ්‍රවයන්ගෙන් සිත මිදී තොර වූ විට චෙතොවිමුත්තිය හා පඤ්ඤාවිමුත්තිය ලබා ගැනීමට මට නොහැකි වූයේ යයි කියා කිසිදු විටක කිසිදු අයෙක් උන්වහන්සේට චෝදනා නො කරන බවයි.
එයින් කියැවෙන්නේ තමන් ඒකාන්තයෙන් ම ආශ්‍රවයන්ගෙන් සිත මිදුණු විට චෙතොවිමුත්තිය තමන්ට ලබා ගත හැකි බවයි. මෙය කවුරුවත් ලවා කරවන දෙයක් නොවන බවයි.
දැන් මේ ක්‍රමයට බුදුරජාණන් වහන්සේගේ අරක්ඛෙය්‍ය ගුණ හත සම්පූර්ණ වෙනවා. තෙරුවන් සරණයි.
ඔබ හැම නිවන් සුව පසක් කර ගනිත්වා.!
.