භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

ලොවුතුරු බුදු බව


පැවිදි වී සතියකට පසු දහම් දෙසුම් ඇරැඹූ පූජ්‍ය හෙණ්ඩියගල සීලරතන හිමිපාණෝ එතැන් සිට අඩ සිය වසරකටත් වැඩි කාලයක් ලක්බිම සදහම් වැස්සෙන් නැහැවූහ. උන් වහන්සේගේ ශිෂ්‍ය ශාස්ත්‍රපති මඩවල සීලවිමල හිමි සහ ශාස්ත්‍රපති හේනේගෙදර සිද්ධාර්ථ හිමි ඒ දෙසුම් රැසක් පටිගත කොට රැකගත්හ; දෙසූ බසින්, ඒ අයුරින් ම ලිපි වශයෙන්ද පළ කළහ. ඒවා රැකගෙන, රටට දුන් මේ ශිෂ්‍යහිමිවරුන්ට සැදැහැත්තෝ පින් දෙති. මේ දෙසුම් අප පළ කරනුයේ පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන්ගේ අනුග්‍රහයෙනි.
එහෙනම් පින්වතුනි, මේ කල්ප කෝටි ගණනක් පාරමිතා පිරූ මහා උත්තමයාණන් වහන්සේ කෙනෙකු සියලු කෙලෙස් මල දුරු කරලා ලෝකයේ ලැබිය යුතු සියලු බලතල ලබලා ආශ්චර්යවත් පුද්ගලයෙක් බවට පත් වුණාට පසු උන්වහන්සේ ගැන ඒ තිබිච්ච බල විශේෂයක් ඇයි අපට බාරගන්ට බැරි. ඇයි අප ඒව ගැන සැක කරන්නෙ. ඇයි බුදු රජාණන් වහන්සේ අහසින් වැඩියා කියාපුහම උන් වහන්සේ නොයෙකුත් ඍද්ධි ප්‍රාතිහාර්ය පෑව කියපුවම අපි ඒවා ගැන අමුතුවෙන් විමති පළ කරන්නෙ? උන් වහන්සේට තිබිච්ච ගුණ නවය ගැන විස්තර කරන තැන විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන කථා කරන කොට කියනවා නේද? ඒ විජ්ජාඥාන මොනවද කියලා. අෂ්ට විද්‍යා ඒ විද්‍යා අටත් විශේෂ නුවණ අටක්

විපස්සනා ඤාණ මනෝමයිද්ධි
ඉද්ධිප්පහේධෝ පිච දිබ්බ සෝතං
පරස්ස වේතෝ පරියාය ඤාණං
පුබ්බේ නිවාසානු ගතංච ඤාණං
දිබ්බංච චක්ඛාසච සංඛයෝච
ඒතානි ඤාණානි ඉධට්ඨ විජ්ජ

ඔය අෂ්ට විද්‍යා බුදුහාමුදුරුවන්ට තිබුණු විශේෂ ඤාණ. ඒව ගැන මම විස්තර කරන්න යන්නෙ නැහැ. මනෝමය ඍද්ධිඥානය මනෝමය ඍද්ධිඥානය කියන්නෙ තමන් වහන්සේ වැනි බුදුවරු තවත් මවල, එක වගේ පුද්ගලයන් ලෝකයට පෙන්වන්ට පුළුවන් ශක්තිය. චුල්ල පන්ථක හාමුදුරුවන්ගේ කථාව කියවපු ඇත්තො දන්නවා ඇති. තවත් විටෙක අපේ බුදු රජාණන් වහන්සේ රන් ඒදණ්ඩක් මවලා තමන් වහන්සේ සක්මන් කරනවා, තව එබඳු කෙනෙක් අනෙක් පැත්තේ ඉඳලා සක්මන් කරනවා.
ඒ මැවූ බුදු රජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා. මේ සත්‍ය බුදු රජාණන් වහන්සේ ඒ ප්‍රශ්නවලට උත්තර දෙනවා. මෙහෙම පෙළහර පාපු අවස්ථා පිළිබඳව අපේ බණ පොත්වල කොච්චර ලස්සනට විස්තර කරනවද? ඒ මනෝමය ඍද්ධිඥානය ගැන අපි අවිශ්වාස කරනව නම් බුදු හාමුදුරුවන්ගේ විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන අපි විශ්වාස කරන්නේ නැහැ. ඉදිධිප්පභේධ ඤාණය නොයෙක් ඍද්ධිප්‍රාතිහාර්ය පෙන්වනවා. ‘විකුර්වන’ ඍද්ධිප්‍රාතිහාර්ය පෑම තහනම් කළා පිණ්ඩෝලභාරද්වාජ හාමුදුරුවන් රත් හඳුන් පාත්‍රයක් ගත්තු අවස්ථාවෙ. අපි ඒ කථා දන්නව. එබඳු මොනතරම් ඥාන බල විශේෂයක් බුදු රජාණන් වහන්සේට තිබුණද, ඔය අෂ්ට විද්‍යා ගැන කියද්දී පංච අභිඤ්ඤාවට තවත් තුනක් එකතු කළා. මොනවද? විපස්සනා ඤාණ, මනෝමය ඍද්ධි ඤාණ, ඉද්ධිප්පහේධ ඤාණ. එපමණක් නොවෙයි. “කිසිවෙකු හටත් නැති, මුනිඳුට සනුවණෙක් ඇති” ගුත්තිලයෙ කිව්ව.
මේ ලෝක ධාතුවේ කිසිම පුද්ගලයෙකුට ඔය රහතන් වහන්සේලා තබා පසේ බුදුවරුන්ටවත් නැති අසාධාරණ ඤාණ හයක් උන් වහන්සේ ලැබුවා: යමක ප්‍රාතිහාර්ය ඤාණය, ආසයානුසය ඤාණය ආදි වශයෙන්. මම ඒවා ගැන කථා කරන්ට යන්නෙත් නැහැ. යමක ප්‍රාතිහාර්ය ඤාණය බුදු රජාණන් වහන්සේට පමණයි තිබුණෙ. අපි දන්නවා මොකක්ද යමක ප්‍රාතිහාර්ය ඤාණය කියලා. ඒ යමක ප්‍රාතිහාර්ය ඤාණයෙන් යමා මහ පෙළහර දැක්වූ අවස්ථා තුනක් ගැන බුද්ධ චරිතයෙත් සඳහන් කරනව. එක අවස්ථාවක් උන් වහන්සේ ලොවුතුරා බුදු වෙලා බෝ මැඬ හිටි වෙලාවෙ දෙව් බඹුන්ට ඇති වුණ සැකය දුරු කරන්ට. තවත් අවස්ථාවක් කිඹුල්වත් පුරයට වැඩල ශාක්‍යයන්ගේ මන් බිඳින්ට.

 බුද්ධත්වයෙන් දෙවෙනි 
වෙසක් පෝය ලැබූ දා තුන් වැනි අවස්ථාව බුද්ධත්වයෙන් හත්වෙනි වර්ෂයෙ මව් දෙව් රජුට ධර්මය දේශනා කරන්ට යන්ට ලෑස්ති වෙලා සැවැත්නුවර ගණ්ඩම්බ රුක් මුලදී යමාමහ පෙළහර දැක්වූවා. ශරීරයේ එක් එක් අවයවයකින් ගිනි කඳක්, දිය කඳක් එක විට නික්මෙනවා. එහෙම එක විට නිකුත් කරන්ට පුළුවන් බලය. හැබැයි එයින් ලෝකයටවත්, ලෝකයේ සත්ත්වයන්ටවත් පීඩාවක් වෙන්නේ නැහැ. එබඳු පුදුම බල විශේෂයන් වන අෂ්ටාදස බුද්ධ ඤාණ, ෂට් අසාධාරණ ඤාණ, සූවිසි කෙළ ලක්ෂයක් සමාපත්ති ඤාණ, තෙසැත්තෑ ඤාණ ආදි අප්‍රමාණ ඤාණ ගැන ඔය කාව්‍යශේකරයේ එහෙම කියනවා නෙවැ. ඔය ඤාණ විශේෂයෙන් රහතුන්ට තිබුණෙ නැහැ. “පටිසම්භිදා මග්ග පාලිය” කියන පොත කියවලා බලන්න, අටුවාවත් එක්ක ඔය ඤාණ විශේෂ විස්තර කරනවා. ඒ නිසා ඔය ලොවුතුරා බුදු රජාණන් වහන්සේ කියන්නෙ මේ අපි හිතන තාලෙට තනියම කෙලෙස් නැති කළ සාමාන්‍ය රහතන් කෙනෙක් නොවෙයි. උන් වහන්සේ මේ ලෝක ධාතුවේ එකම වරකට දෙන්නෙක් පහළ නොවෙන ආශ්චර්යවත් මනුෂ්‍යයෙක්. ඔය ලොවුතුරා බුද්ධත්වයට නියත විවරණ ගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා පැත්තේදී ලෑස්ති වෙන මහා පුරුෂයා විශිෂ්ට ගුණ රාශියකින් යුක්ත වෙන්ට ඕනෑ.


‘මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු ස්ත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝව ජන්දතා
අට්ඨා දස සමෝධනා
අභිනීහාරෝ ඡන්දතා”

‘අභිනීහාර’ කියන්නේ ප්‍රථම නියත විවරණය, දීපංකර බුදු රජාණන් වහන්සේගෙන් සුමේධ තාපසයන් වෙලා අපේ බෝධි සත්ත්වයන් වහන්සේ එදා ඒ නියත විවරණ ලැබූ අවස්ථාවෙදී ඔය කාරණා සම්පූර්ණ වෙලා තිබුණ.
‘මනුස්සත්තං’ මිනිසෙක්ව ඉන්නම ඕනෑ. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට බෑ. ලිංග සම්පත්තිය, පිරිමියෙක්ව ඉන්නම ඕනෑ. අද කථා කරනව ස්ත්‍රීන්ට බුදු වෙන්ට බැරිද කියල. බුදු වෙන්ට නෙමේ ලොවුතුරා බුදු බවකට පාරමිතා පුරන්ට නියත විවරණයක් ලබන්ටවත් අපේ බණ පොත්වල හැටියට ලිංග සම්පත්තිය - පිරිමි ආත්ම භාවයක් තියෙන්ටම ඕනෑ. ඒකයි ලිංග සම්පත්ති, හේතු කිව්වෙ, ඒ ජාතියෙම මේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇතිව ඉපදිලා, උත්තරී මනුෂ්‍ය ධර්මයන් උපදවන්නට හේතු සම්පත් ඇති මනුෂ්‍යයෙක්ව ඉන්ට ඕනෑ. ‘පබ්බජ්ජා’ සාසනයේ හෝ තාපසඍෂි ප්‍රවජ්‍යාවෙන් හෝ ගිහි ගෙයින් නික්මිලා අභිනිෂ්ක්‍රමණය කරලා ඒ විදිහේ අනගාරික පුද්ගලයෙක්ව ඉන්නට ඕනෑ. ‘ගුණ සම්පත්ති අර කියාපු සුමේධ තාපසයන් උපදවාගෙන තිබුණු විදියෙ පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති කියන උත්තරී මනුෂ්‍ය ධර්මයන් උපදවාගත්තු කෙනෙක් වන්නට ඕනෑ. ‘අධිකාරෝ’ ජීවිතය පූජා කරල බුදුබව පැතීමට තරම් පුළුවන් ඒ විදියේ ආත්ම ශක්තියක් වීර්යයක් ඇති කෙනෙක් වෙන්නට ඕනෑ. ‘ඡන්දතා’ ඒ විදියේ බුදු වෙන්ට ජීවිතය පූජා කිරීමේ කැමැත්ත තියෙන්ට ඕනෑ. මේ අට්ඨ ධම්ම සමෝධානය, නැති නම් මේ ධර්ම අටක් සමෘද්ධ වීමෙනුයි නියත විවරණයක් පවා බුදු වෙන බෝධිසත්ත්වවරයෙක් ලබන්නෙ.
ඉතින් එදා එහෙමනම්, ඊට වඩා විශිෂ්ට ගුණ රාශියකින් පුරුදු කරන ලද මේ ලොවුතුරා බුදු බවට උන් වහන්සේ පත් වී වදාළනේ. ඒ ලොවුතුරා බුදු බව ලැබීම කොතරම් අමාරු කාරණයක්ද කියන එකත් ඒ අනුව අපට හිතන්නට පුළුවන්. හැබැයි ඒ වගේම මෙන්න මේකත් අපි හොඳට මතක තියාගන්න ඕනෑ. මොකක්ද?

‘කිසිවෙකු හටත් නැති 
මුනිඳුට ස-නුවණෙක් ඇති
මෙලොව සැමටම 
ඇති
වාසනා ගුණ කිසිවකුත් නැති’

මේ ලෝකෙ කාටවත්ම නැති විශිෂ්ට ඥාන හයක්, ෂට් අසාධාරණ ඥාන, ලොවුතුරා බුදුහාමුදුරුවන්ට තියෙනව. නමුත් ‘මෙලොව සැමටම ඇති - වාසනා ගුණ කිසිවකුත් නැති’ මේ ලෝකෙ ඔක්කොටම තියෙන වාසනා ගුණය ලොවුතුරා බුදුහාමුදුරුවන්ට නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් කථා කරන කොට එහෙම නම් බුදුහාමුදුරුවො අවාසනාවන්ත පුද්ගලයෙක්.
‘සවාසනා සකලක්ලේශයන්’ අන්න ඒ වචනය හොඳට තේරුම් ගන්නට ඕනෑ. අනෙක් හැම කෙනෙක්ම කෙලෙස් නැති කළා. ඔය කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, සාරපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප ආදි අපේ හිටිය ඔය උසස් මහා ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනාම මහ රහතන් වහන්සේලා. උන්වහන්සේලා අතරත් කොටස් තුනක් ඉන්නව. ඉතාම කුඩා තත්ත්වයේ මහ රහතන් වහන්සේලා. අපේ බණ පොතේ උගන්වනවා ශුෂ්ක විදර්ශක කියල. චක්ඛුපාල හාමුදුරුවො වගේ අය කෙලෙස් නැති කළා. නුමුත් උන් වහන්සේලාට ඍද්ධි ප්‍රාතිහාර්යයන් පෙන්වන්නට බැහැ. ඊළඟට ඉන්නව ත්‍රිවිද්‍යාලාභී මහරහතන් වහන්සේලා, ත්‍රිවිද්‍යාව විතරයි උන් වහන්සේලාට තියෙන්නේ. ඊළඟට ඉන්නව ඊට වඩා උසස් අය. ෂට් අභිඥාලාභී පංච අභිඥාවට ආසවක්ෂයකරඥානයක් දාපුවම ෂට් අභිඥා. ඒ අතරතවත් ඉන්නව සිව් පිළිසිඹියා පත්.
‘අර්ථ, ධර්ම, නිරුත්ති, ප්‍රථීහාන’ කියන මේ සිව් පිළිසිඹියා ලැබිලා තියෙනව අනාගාමී වෙනකොට. ආනන්ද හාමුදුරුවන්ට සෝවාන් වෙනකොට ලැබිල තියෙනව. එතකොට අපි දන්නව අර පළමු ධර්ම සංගායනාවට තේරූ රහතන් වහන්සේලා ඔය කියපු ඉහළම පන්තියෙ ඇත්තො. කවුද? ෂට් අභිඥා ලැබූ සිව් පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේලා; බුදු හාමුදුරුවන්ගේ සම්මුඛ ශ්‍රාවකයො. එතකොට සැරියුත් මුගලන් අගසව් දෙනම වැඩ හිටියෙ නැහැ. ප්‍රධානත්වය ගත්තේ මහා කාශ්‍යප හාමුදුරුවො. ඔය කියන උසස් රහතන් වහන්සේලාටවත් අර වාසනා ගුණය නැති කරන්නට බැහැ. ආං ඒකයි ‘ස්වාසනා සකලක්ලේශයන්’ බුදු වෙන කොට නැති කළා කිව්වෙ. කෙලෙස් පමණක් නොවෙයි වාසනා වත් නැති කළා.
මොකක්ද මේ වාසනාව කියන්නේ? වාසනාව නැති කළා කියන කොට වැටහෙන්ට ඕනෑ මෙතෙක් කල් සංසාරයේ පෙරුම් පුරාගෙන ආපු ඒ බෝධිසත්ත්වයන් වහන්සේ නමක් හිටිය නම් සිද්ධාර්ථ කියල, උන් වහන්සෙ නෙමෙයි දැන් මේ බුදුහාමුදුරුවො කියන්නෙ. උන් වහන්සේගේ ශරීරය තමයි; ඒ අඟපසඟ තමයි. නමුත් කෙලෙස් නැති කළ හිතක් පහළ වෙච්ච විශිෂ්ට පුද්ගලයෙක් පමණක් නොවෙයි. සසර කල්ප කෝටි ගණනක් පෙරුම් පුරාගෙන එන කාලෙ තියෙනව සාමාන්‍යයෙන් සසර පුරුද්ද කියල එකක්: කුසල්, අකුසල්, ඒ කුසල්. අකුසල්වල පුරුද්දෙන් අපේ චිත්ත සන්තානයට එකතු වෙච්ච යම් යම් කෙලෙස් පුරුදු තියෙනව. කෙලෙස් පුරුදු අපි දන්නව, එක රහතන් වහන්සෙ කෙනෙක් හිටියලු. උන් වහන්සේ ආත්මභාව පන්සීයක් විතර අභිමානවත් උසස් කුලවල ඉපදිලා සාමාන්‍ය මහ ජනයාට පහත් වචනවලින් කථා කරලා ආපු පළපුරුද්ද නිසා වාසනා ගුණය නිසා, රහත් වෙලත් සාමාන්‍ය මිනිස්සුන්ට පහත් වචනවලින් කථා කළාලු.
ඔය වාසනා ගුණය, නැත් නම් සංසාර පුරුද්ද හැම රහතන් වහන්සෙ කෙනෙක් තුළම තියෙනව. මීට පෙර ජාතිවල අපි මොනවද පුරුදු කළේ? හොඳද, නරකද? ඒව අප අතර බොහෝම අප්‍රකටව අප කාටත් නොතේරෙන්නට තියෙනව; සමහර විට අප නොසිතන අවස්ථාවල මතු වෙල එනව. ඒ වාසනා ගුණය හොඳ දේ වෙන්නට පුළුවනි; නරක දේ වෙන්නට පුළුවනි. නමුත් සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සෙ ලොවුතුරා බුදු වෙන කොට කෙලෙස් පමණක් නොවෙයි නැති කළේ. ආං ඒ කියාපු සංසාරේ කල්ප කෝටි ගණනක් උන් වහන්සේ පාරමිතා පුරන කාලේ චිත්ත සන්තානයට බැඳී ආව නම් යම් කිසි වාසනා ශක්තියක්, හොඳ හෝ නරකවලින් ආපු පුරුදු, ඒව ඔක්කොම කපුරු පිච්චෙන්න වගේ දාල විනාශ වෙල ගියා. ඒකයි ‘සවාසනා සකලක්ලේශ’. අපි දන්නව ගුත්තිලයෙ මුලටම කීවෙ.

‘සිය පින්සිරින් සරු 
දෙතිස් ලකුණින් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු 
වඳිම් මුනි උතුමන් තිලෝගුරු”

සිය පින්සිරින් සරු: ශත පුණ්‍යශ්‍රීයෙන් යුත්. මොකක්ද මේ ශත පුණ්‍යශ්‍රීය?

‘පමණ නැති සක්වළ
සව් සත සියක් වර කළ
පින් සිත දියුණු කළ’

තවත් තැනක අපේ සිංහල කවියො කීවෙ. මේ මුළු ලෝක ධාතුවේ සත්ත්වයින් අප්‍රමාණ සක්වළවල සත්ත්වයින්, ආත්මභාව සීයක් ඉපදිලා එකතු කළා නම් පින් කඳක්, පින් ගොඩක්, පින් තරමින් ඒ ලෝක ධාතුවෙ සියලු සත්ත්වයින් ආත්මභාව සිය ගණනක් එකතු වෙලා කරපු පින් කඳට වඩා පින් කඳක්, පාරමිතා ශක්තියක් සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ එකතු කළා. ඒකයි සිය පින්සිරින් සරු, ශතපුණ්‍යශ්‍රීයෙන් යන වචනෙ තේරුම ඒකයි. මුළු ලෝකයෙ ඔක්කොම එකට එකතු වෙලා කරපු පින්වලට වැඩිය ලොකුයි, උන් වහන්සේ එකතු කළ පින්, ඒ නිසා මේ බුදු රජාණන් වහන්සෙ කියන්නේ පින්වලින් නිර්මිත වෙච්ච. ඒකයි “පාරමිතා නමැති ශිල්පියා විසින් මැවූ” කියල බොහෝ තැන්වල කීවෙ.
පින්වලින් නිර්මිත වෙච්ච, ලෝකයේ ගුණ කියන අකුරු දෙකින් කථා කරන මොනවා හරි තිබුණ නම් ඒ ගුණ එකට මූර්තිමත් වෙලා නිර්මිත වෙච්ච පුණ්‍ය පිණ්ඩයක්, පින් පිඬක්, ඒ ඔක්කොම ගුණවලින් නිර්මිත වෙලා තියෙන්නෙ ඒ පින් පිඬ. ගුණෙයි කියල ජාතියක් අපි ලොකෙ කථා කරනවා නම් බුදු රජාණන් වහන්සෙ ළඟ නැති මොනම ගුණයක්වත් ලෝකයේ කොහේවත් නෑ. උන් වහන්සෙ පළමුවෙන් උගන්වපු ගුණය අපි දන්නව. අද දක්වාම ලෝකෙ දුර්ලභ ගුණය, උන් වහන්සෙ ගුණ කියල යමක් කීව නම්, ගුණ කියල යමක් දේශනා කළා නම් උන් වහන්සේ ලොවුතුරා බුදුවෙච්ච හැටියෙම දැක්ක මෙන්න ලෝකෙ නැති ගුණය. අනිත් ගුණ ඔක්කොම තියෙන්ට පුළුවන්. එහෙනම් මොකක්ද මේ නැති ගුණය.
‘කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලොකස්මිං.’
බුදුහාමුදුරුවො වදාළේ නැහැ, මේ රහත් වෙන ඇත්තො දුර්ලභයි කියල. එහෙම දේශනා කරල නැහැ. හැබැයි බුදු රජාණන් වහන්සෙ ඔබ බුද්ධෝත්පාදය, මනුෂ්‍යත්වය වැනි විශේෂ කාරණා දුර්ලභ බව වදාළා. නමුත් උන් වහන්සේ කෙළින්ම වදාළ ‘කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලහෝ ලෝකස්මිං’ ලොකයේ අතිශයින්ම දුර්ලභයි. කෘතඥතාව ඇති පුද්ගලයන්. ඒ නිසා උන් වහන්සෙ බුදු වෙලා බණ කියන්නට ඉස්සර වෙලා ලෝකෙට පෙන්නුව, ඒ අතිශයින්ම උසස් ගුණය. මොකක්ද? මෙන්න ලෝකයේ ඔක්කොම ඉගෙනගන්නට ඕන කරන ගුණය. ‘කෘතඥතාව’ අපි දැන් ඉතින් ඔය බුදු ගුණය මේ සාමාන්‍ය කිලුටු මිනිස්සු අතර හොයලා, ඒ මිනිස්සු අතර නෑ කියල අපි බොහොම දුක් වෙනව.
ඒක බුදුහාමුදුරුවො දුර්ලභ බව දේශනා කළා. ඒ ඉතාම දුර්ලභ ගුණයෙ ඉඳල උන්වහන්සෙ ළඟ ප්‍රකටව පෙනිච්ච මහා සාගරය වැනි ගුණය අපි මහා කරුණාව, මහා කරුණාව කියන වචනයෙන් හඳුන්වන යම් ගුණයක් ලෝකෙ තිබුණ නම් තියෙනව නම් ඒ කරුණාවෙන් නිර්මිත වූ හදවතක් බුදුහාමුදුරුවන්ගේ හදවත. අපි දන්නව බුද්ධ චරිතෙ කථා. ඒව තමයි ඔය පොඩි ළමයින්ට උගන්වන්ට ඕනෑ. පටාචාරාව කිසා ගෝතමිය, සුනීත, ඒ වගේම දරුණු වැඩ කළ අංගුලිමාල, ඒ වගේම මැරෙන්න ගිය රජ්ජුමාලා, සෝපාක ඒ ඔක්කොටම වැඩිය ඉතාම කණගාටු දායක භද්‍රවතිකා ඇතින්න, වැනි තිරිසන් සතුන්ට පවා උන්වහන්සේ දැක්කුවෙ මහා පුදුම කරුණාවක්. අපට පුදුමයි බුදුහාමුදුරුවන්ගේ එක ගුණයක් ගැන කථා කරන්නට ගියොත්, ඒකයි අර, “බුද්ධෝපි බුද්ධස්ස භනෙය්‍ය වණ්ණං - කප්පම්පි චේ අඤ්ඤමහාස මානෝ” කල්පය ඉවර වෙනව මිසක් බුදු ගුණ ඉවර වෙන්නෙ නෑ කියල කිව්වෙ.

එහෙම ගුණ සාගරයක් බුදුහාමුදුරුවො කියල කියන්නෙ. සාමාන්‍යයෙන් මේ කෙලෙස් නැති කළ සිද්ධාර්ථ කුමාරයා නොවෙයි. ගුණ ගැන කථා කළොත් ලෝකෙට හැදෙන්න ඕන නම්, ලෝකෙට සදාචාරවත් වෙන්න ඕන නම්, බුදුහාමුදුරුවන්ගේ එක ගුණයක් ගත්තම ඇති, අපි හිතමු. එක් රටක් ගත්ත කරුණාව, අනෙක් බුදු ගුණ ඔක්කොම පැත්තකින් තිබ්බ. මුළු ලෝකෙම සැනසිලා අවසානයි. මේ එක ගුණය අරගෙන ඒ එක බුදුගුණය අනුව ඒ ලෝකයේ මිනිසුන් හැඩ ගැසෙන්න හිතුවොත් අනෙක් ඒව ඕන නෑ.

මේ එකම හා ගුණය කරුණාව, අද තියෙනවද? අපට පේනව නේද? අද පුවත්පත්වලින් හැම තැනින්ම මේ මිනිස් ජීවිත, යටත් පිරිසෙයින් බලුබල්ලන්ගේ ජීවිත තරම්වත් ගණන් නොගෙන නිරපරාදෙ විනාශ කරල දානව. කල්පයක් ජීවත් වෙන්නද මේ හදන්නෙ? එහෙම නැත් නම් මෙයින්ම ඒ පුද්ගලයන් මේ ලෝක ධාතුවෙ විමුක්තිය ලබන්නද හදන්නෙ? නෑ, බලන්න කරුණාව කියන මේ වචනයෙන් උගන්වන ගුණය මේ ලෝකෙ මිනිස්සුන්ට පුරුදු කළොත්, වෙන ලෝක ඕන නෑ. අපේ මේ ලංකාව ථේරවාදී බුදු දහම පවතින මේ රට අවුරුදු දෙදහස් පන්සීයක් නිර්මල සම්බුද්ධ ධර්මයෙන් පෝෂණය වූ මේ රට, ඉතින් මේ රටේ මිනිසුන්ගේ හදවත්වල පමණක් ඔය වෙන මොනම ඉගැන්වීමක් වත් මොන විද්‍යාවක් වත් ඕන නෑ.
කොහෙ යන්න වත් ඕන නෑ. හඳට යන්න වත් ඕන නෑ. හදවතේ කරුණාව ඇති කරන්නට පොඩි දරුවන්ගේ ඉඳල මහන්සි ගත්තොත් මේ රට එදාට අපි දන්නව බ්‍රහ්ම ලෝකයක්. නුමුත් අද අපට වනාන්තරයක යන්න බය නෑ. මහ මුහුදෙ යන්න බය නෑ. සිව්පාවුන් අතර ජීවත් වෙන්න බය නෑ. නුමුත් පාරෙ යන්න බයයි නේද? මිනිස් සමාජෙ ඉන්න බයයි නේද? අද අපේ රටේ මිනිස්සු හැන්දෑවට බුදියගන්නෙ උදේට එළි වෙලා නැගිටින්න පුළුවන් වෙයිද කියල අවිශ්වාසෙන්. මේ මහා කරුණාව ගෑවිච්ච තැනක් වත් කෝ. බුදුහාමුදුරුවො අදහන මිනිසුන්ගේ හදවත්වල කෝ මේ මහා බුදු ගුණය. ආන්, බුදුහාමුදුරුවො කවුද කියල අඳුනගෙන නෑ කියල අපි කියන කථාවෙ තේරුම. බුදුහාමුදුරුවො කවුද කියල තේරුම් ගත්තොත් මේ රට කරුණාවෙන් ධර්මයෙන් පෝෂණය කළ හැකියි නේද, ඒ නිසා අපි මේ බුදු රජාණන් වහනසේ තුළ තිබුණු ඒ මහා සාගරය වගේ ගුණ අබ පියල්ලකට වතුර ටිකක් ගත්ත වගේ වත් අරගෙන එයින් අපේ හදවත් පෝෂණය කරගන්න ඕනෑ. බුද්ධාගම අදහනව කියන්නෙ ඒකයි. ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියන්නෙ ඒකයි. අපි ඒ ගැන තදින් හිතන්ට ඕනෑ.
හැමෝටම කරුණාවන්ත වෙන්න ඕනෑ. තිරිසනුන්ටත් කරුණාව දක්වන්න ඕනෑ. මම පමණක් මේ ලෝකයේ ජීවත් වෙන්ට ලෑස්ති වුණාට ඒක හරියන්නෙ නෑ. ඒක කෙරෙන්නෙ නෑ. ඔය කොයිතරම් බලතල ලැබූ අයත් අපි දන්නව ඉවර වුණ හැටි. ඒ නිසා බුදුහාමුදුරුවන්ට පූජා කරනවා කියන-එක අපි තේරුම් ගන්නට ඕනෑ. අපේ රටට මහා බ්‍රාහ්මණ පඬිවරයෙක් ආව තොටගමුවෙ හාමුදුරුවො ළඟ ඉගෙනගන්න. ඇවිත් බුදුහාමුදුරුවො ගැන ඉගෙනගත්ත, බුදුහාමුදුරුවන්ට වඳින්ට, ගරු කරන්ට. පස්සෙ තමන් දැනගත්තු ධර්මය අනුව පොතක් ලීවා ශ්‍රී රාමචන්ද්‍ර කවි භාරතී බමුණු පඬිතුමා:. ඒකෙ එක තැනෙක තියෙනව: ‘ජගදූප කෘතිරේව බුද්ධ පූජා’
භක්ති ශතකය කියවල ඇති පන්සල්වල ඉගෙනගත්තු ඇත්තො. ‘ජගදූප කෘතිරේව බුද්ධ පූජා’ මේ එකම ශ්ලෝක පදේ ඇති ජාතියකට හැදෙන්න. මොකක්ද බුද්ධ පූජාව කියන්නෙ? ‘ජගත් උප කෘති’ ලෝකයට පිහිට වීම, පරාර්ථ සේවය, අනුන්ට පිහිට වීම තමයි බුදුහාමුදුරුවන්ට කරන නියම බුද්ධ පූජාව. ඒ වගේම උන්වහන්සේට කරන පීඩාව ලෝකයට කරන කරදරයයි. බුදුහාමුදුරුවන්ට කළ යුතු බුද්ධ පූජාව ලෝකයට උපකාරවත් වීමයි. ඒක තමයි බෝධිසත්ත්ව ජීවිතය. ජාතක පොතේ කථා කියවල බලන්න.
එනිසා අපි බුදුහාමුදුරුවො හඳුනගන්න ඕනෑ. බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියන-එක. උන් වහන්සෙගෙ ගුණ පමණක් නොවෙයි ඤාණ විශේෂයන් ගැනත් අපට පූර්ණ අවබෝධයක් දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ඤාණ විශේෂ ගැන කථා කරන්න උන් වහන්සෙගෙ නිර්වාණ මාර්ගය ගැන පොඩ්ඩක් වත් තේරුම් ගත්තු, උන් වහන්සෙ අවබෝධ කළ, ධර්මය පිළිබඳ වැටහීමක් ඇති රහතන් වහන්සෙ කෙනෙක්වත් වෙන්ට ඕනෑ.
.