භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

බුදුවරුන් අනුගමනය කළ යුතු චර්යා තුන


චරියා යනු හැසිරීමයි. එදිනෙදා පැවැත්මයි. හැසිරීම් රටාවයි. මේ අදහස විභංගයේ චරිත නිද්දේසයේ සඳහන් වෙයි. ලොව පහළවන සම්මා සම්බුදුවරුන්ගේ චරියා තුනක්‌ ගැන සඳහන්ව ඇත. බුද්ධත්ථ චරියා, ලෝකතථ චරියා, ඥතත්ථ චරියා වශයෙනි. බුද්ධත්ථ චරියා නම් බුදුවීම සඳහා අනුගමනය කළ යුතු හැසිරීම් රටාවයි. ලෝකත්ථ චරියා නම් බුද්ධත්වයෙන් පසුව මෙලොව වසන සත්වයාගේ දියුණුවත් යහපතත් සදාචාරයත් සඳහා සහ පරලොව සුගතියත් සසරින් එතෙරවීමත් සඳහා අනුගමනය කරන ලද හැසිරීම් රටාවයි. ඥතත්ථ චරියා නම් ස්‌වකීය ඥාති වර්ගයාගේ යහපත විමුක්‌තිය සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයයි.

ශ්‍රී සාක්‍යමුණි ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව්තුරා බුදුවීම සඳහා බුද්දත්ථ චරියාව ආරම්භ කර ඇත්තේ කල්ප විස්‌සකට පමණ පෙරය. ඒ මනෝ ප්‍රණීධාන වශයෙනි. අසංඛ්‍ය කල්ප හතක්‌ මනෝ ප්‍රණිධානය ද අසංඛ්‍ය කල්ප නවයක්‌ වාක්‌ ප්‍රණිධානය ද, අසංක්‍ය කල්ප හතරක්‌ මහා ප්‍රණිධානය ද සම්පූර්ණ කිරීම බුද්ධත්ථ චරියාවට ඇතුළත්ය. සර්වඥ ගුණාලංකාරයේ එන විස්‌තර අනුව කල්ප ගණනාවක්‌ ප්‍රධාන වශයෙන් අවස්‌ථා පහකදී මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළහ. බුදුවරුන් තුන්ලක්‌ෂ අසූදෙදහසක්‌ අසංඛ්‍ය කල්ප නවයක්‌ වාක්‌ ප්‍රණිධානය සම්පූර්ණ කළහ. දීපංකර පාදමූලයේ පළමුවන නියත විවරණය ලද දිනයේ සිට වෙස්‌සන්තර ආත්මභාවය දක්‌වා කල්ප හතරක්‌ මහා ප්‍රණිධානය සම්පූර්ණ කළහ. මනෝප්‍රණිධානය ආරම්භ වන්නේ මහ මුහුදේ වැටී පිහිනන තම අම්මාගේ ජීවිතය ගලවාගත් දිනයේ සිටය. ව්‍යාඝ්‍රී ජාතකයේ සඳහන් වන අන්දමට මරණ භයින් තැතිගෙන කෑගසමින් සිටි ව්‍යාඝ්‍ර පැටවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා බඩ සයින් පිරි ව Hdඝ්‍ර ෙනුවට තම ජීවිතය දන්දීම මේ බුද්ධත්ථ චරියාවේ එක්‌ අවස්‌ථාවකි.සිවි රජුදවස තම ඇස්‌ දෙකම දන් දෙමින් බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීමද බුද්ධත්ත චරියාවේ තවත් පියවරකි. සස ජාතකයේ එන පරිදි සාවකුව ඉපදී පුද්ගලයකුගේ බඩගින්න නිවන්නට ගිනිගොඩකට පැනීම ද තවත් එක්‌ අවස්‌ථාවකි. මේ අන්දමට මූල බෝධි චරියාව, මහිස රාජ චරියාව, අයොඝර චරියාව, තේමිය කුමාර චරියාව, කපිරාජ චරියාව, වට්‌ටකපොතක චරියාව, කණහ දීපචරියාව, ඒකරාජ චරියාව, ලෝමහංස චරියාව ආදී වශයෙන් ගත කළ සියලු චරියා බුද්ධත්ත චරියාවට අයත් වේ. බෝ සතුන්ගේ අන්තිම ආත්මභාව වන විට වෙස්‌සන්තර චරියාවේ අලි ඇතුන් දන්දීමේ පටන් සිය දරු දෙදෙනා ද බිසවද දන්දීම දක්‌වා එන සියලුම චරියා මේ බුද්ධත්ත චරියාවට අයත්ය.

ලෝකත්ථ චරියා උරුවෙල් දනව්වේ ඇසතු බෝ රුක මුලදී මරුන් පරාදා බුදුවූ දවසේ සිට පිරිනිවන්පෑම දක්‌වා හතළිස්‌ පස්‌ වසරක්‌ පුරාවට ගෞතම බුදුරජුන් ලෝකාරථ චරියාවෙහි යෙදුණහ. ඒ හතළිස්‌ වස පුරාම ලෝක සත්වයාගේ හිස සුව පිණිස තමන්ගේ සෑම තත්ත්පරයක්‌ම මිඩංගු කළේය. මුළු රටම බියවද්දාගෙන සිටි මහා දාමරිකයකු වූ අංගුලිමාල දමනයකර ජනයාට බියෙන් තොර ජීවිතයක්‌ ලබාදීම ලෝකාර්ථ චරියාවකි. දිනපතා නරබිල්ලක්‌ බැගින් ගත් ආලවක දමනය කර ආලවක ජනයාට හිතවත් සත්පුරුෂයකු බවට පත් කිරීම ලෝකාර්ථ චරියාවේ එක්‌ අංගයකි. අම්බට්‌ඨ - සොණදණ්‌ඩ - උපාලි - කසීබාරද්වාජ - පොකඛරසාති ආදී බමුණන්ගේ මිත්‍යාදෘස්‌ටික දුර්මත බිඳ දමා සුපේෂල ශික්‌ෂාකාමී භික්‌ෂු පරපුරක්‌ නිර්මාණය කිරීම ලොකත්ථ චරියාවකි. ප්‍රජාපතී, යශෝදරා, උප්පලවන්ණාගෙන් සැදුම්ලත් භික්‌ෂුණි ශාසනයක්‌ ඇතිකිරීම පමණක්‌ නොව ඒ මගින් කිසිදු අයිතිවාසිකමක්‌ නැතිව බමුණන්ගේ උගැන්වීම් අනුව පුරුෂාධිපත්‍යයට යටත්වී සිටි කාන්තා සංහතියට කාත්තා විමුක්‌තිය ලබාදීම ලෝකත්ත චරියාවකි. 

සසර දුක්‌ විඳි කෝටි ගණන් සත්වයින් සසර සයුරෙන් එගොඩ කර නිවන් දැක්‌කවීම ලෝකත්ථ චරියාවකි. ලොව කිසිම ශාස්‌තෘවරයෙක්‌ නෙපෙන්වූ විමුක්‌ති මාර්ගය මේ යෑයි ලෝකයාට පෙන්වාදී ඒ සඳහා මඟ හෙළිකිරීම ලෝකත්ථ චරියාවයි. කුසල් - අකුසල් මේය, හොඳ නරක මේවාය, කුසල් කළහොත් දිව්‍යලෝකවලද අකුසල් කළහොත් අපාය භූමිවලද ලබන බව පෙන්වා මිනිසුන් යහපත් මඟට යොමුකරවීම ලෝකාර්ථ චරියාවයි. බිම්බිසාර, කෝසල ආදී රජවරුන්ට දසරාජ ධර්ම මාර්ගය පෙන්වා, චක්‍රවර්තී රාජ්‍ය දර්ශනය කියාදෙමින් අනාගමික රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලෝකාර්ථ චරියාවය. බිම්බිසාර, කෝසල, ලිච්ඡවී, අජාසත්ත, ශාක්‍ය, කෞරව්‍ය, උදේනි ආදී කිසිම රජකුට බුද්ධාගම රාජ්‍ය ආගම කරන ලෙස නොවැදෑරීම, උපදෙස්‌ නොදීම ද ලෝකත්ථ චර්යාවේ ලක්‌ෂණයකි. අද බොහෝ තැන්වල නොපැවතුණත් බුදුදහමේ ඇති කළ මහා සාංඝික සම්ප්‍රදාය ලෝකත්ථ චරියාව යටතට වැටෙයි. කාලාම සූත්‍රය මගින් ද , මහා පරිනිබ්බාන සූත්‍රය මගින් ද උදා කළ සිතීමේ නිදහස, විමසීමේ නිදහස, විචාරණය කර පිළිගැනීමේ නිදහස ද බුදුන්වහන්සේ ලොවට උදා කළ ලොකත්ථ චරියාවට අදාළ වේ. ජාති භේද, කුල භේද, භාෂා භේද ආදී සකල භේදයන්ට එරෙහිව වෙමින් ධර්මය දේශනා කරන විට අසන්නාගේ භාෂාවෙන් බණ වදාරන්නට නියම කරමින් වාද භේද නැති ලොවක්‌ තනන්නට වසර හතළිස්‌ පහක්‌ පුරා කැපවීම, කටයුතු කිරීම බුදුහාමුදුරුවන්ගේ ලොකත්ථ චරියාව පරිපූර්ණ කිරීම වේ.

ඥතත්ථ චරියාව

ශාක්‍යමුණි ගෞතම සම්බුදුන්වහන්සේ දෙමාපියන්, බිරිඳ, සහෝදර සහෝදරියන් ආදී සියලු දෙනා අතහැර ගිහිගෙයින් වෙන්වී පැවැදිව බුදුවූවත් ඥතීන් කිසිවෙක්‌ අමතක කළේ නැත. අම්මා, තාත්තා, බිරිඳ, සහෝදර සහෝදරියන් හිතවත්ව සිටි ඇමැතිවරුන් පමණක්‌ නොව කන්ථක අසුන්ට පවා නිවන් මග පෙන්වීම ඥතත්ථ චරියාවයි. ශාක්‍ය කෝලියවංශ දෙක රොහිණී ගඟේ ජලය බෙදාගැනීම සඳහා සටනට සැරසෙද්දී එතැනට වැඩමවා සාමය ඇතිකිරීම ඥත්ථ චරියාවට අදාළ ක්‍රියාවකි. නන්ද කුමරු රාහුල කුමරු ආදීන් පැවිදි කර නිවන් මඟ පාදා දීම ඥතත්ථ චරියාවට අයත්ය. කෝසල රජුගේ ක්‌ෂත්‍රීය බිරිඳවන වාසභ ඛත්තියාට සහ විඩූඪහ කුමරුට කොසොල් රජු විසින් කෙණෙහිලිකම් කිරීමේදී කොසොල් රජු හමුවී වාසභ ඛත්තියාගේ මව කවුරුන් වුවත් තාත්තා රජකෙනෙකි. ඒ නිසා ඔවුන් නිසි තැන්හි පිහිටවන්නැයි කියා මවගේ සහ පුතාගේ අයිතිවාසිකම් රැකදීම ඥතත්ත චරියාවකි. විඩූඪහ ශාක්‍යයන් ඝාතනය කරන්නට ගිය තුන් වතාවක්‌ම බුදුහිමියන් මැදිහත්වී ඒ ශාක්‍ය සංහාරය කල්දැමීම, එහිදී වදාළ නෑයියන්ගෙන් එන සුළඟත් සැපයි යන ප්‍රකාශය ඥතත්ථ චරියාවේ එක්‌ අවස්‌ථාවකි.

මහා ප්‍රජාපතී ගෝතමී, යශෝදරා හා තම ස්‌වාමිවරුන් පෙම්වතුන් අහිමි වූ පන්සියයක්‌ ක්‌ෂත්‍රීය කාන්තාවන් පැවිදි කරවා මාර්ගඵල ලබාදී සසර කෙලවර කිරීම ඥතත්ථ චරියාවයි. සුද්ධෝදන රජු රහත් කරවීම, මහාමායා දේවියට අභිධර්මය දේශනා කොට මාර්ගඵල ලබාදීම ඥතත්ථ චරියාවයි. ශාක්‍යයන් වීම නිසා මහා මාන්‍යයකින් යුක්‌ත වූ ශාක්‍යයන්ගේ මානය බිඳ ඒ අයත් අනිත් ජාතීනුත් සම තත්ත්වයෙහි ලා පිහිටුවීම ඥතත්ථ චරියාවක්‌ මෙන්ම ලෝකත්ථ චරියාවකි.

මහණෙනි, පෙර අන්‍ය තීර්ථක වූයේ නග්නව ආයේ නම් උපාධ්‍යයා මුල්කොට සිවුර සෙවිය යුත්තාහ. නොකැපූ හිසකේ ඇතිව පැමිණියේ නම් භණ්‌ඩුකර්මය පිණිස සංඝයා දැන්විය යුතුය. ඒ ගිහි පුදන්නෝත් ඡටාධරයොත් වෙත් නම් ආවා වූ ඔවුන් උපසපන් කළ යුතුය. ඔවුන්ට පිරිවෙස්‌ නොදිය යුතුය. ඔවුහු කර්මවාදීහු ක්‍රියාවාදීහු වෙති. මහණෙනිෘ උත්පත්තියෙන් ශාක්‍ය වූ පෙර අන්‍යතීර්ථ වූවෙක්‌ පැමිණේද, හෙතෙම උපසපන් කළ යුතුය. පිරිවෙස්‌ නොදිය යුතුය. මහණෙනිෘ මම නෑයින්ට පමණක්‌ උරුම වූ මේ පරිහාරය අනුග්‍රහයක්‌ වශයෙන් දෙමි. (මහාවග්ගපාලි)

බුදුහාමුදුරුවන් පළමුවැනි ලංකාවට වැඩමවා මහියංගණයේදී, එවකට ලංකාදීපයේ අයිතිකරුවන් වූ යක්‌ෂ ගෝත්‍රික මිනිසුන් සදාචාර සම්පන්න ආගමක්‌ වැළඳගත් යහපත් පුරවැසියන් කර, ඔවුන් ලංකාව බුදුරදුන්ට පිදීමෙන් පසුව, ඔවුන්ට බණ කියා ලංකාද්වීපය තවත් ජාතීන්ගේ වාස භූමියක්‌ බවට පත් කළේය. ඒ ක්‍රියාදාමය තුළ විඩූඩහ විසින් ශාක්‍ය සංහාරය කරද්දී එයින් ජීවිත බේරාගත් ශාක්‍යයෝ, අමිතෝදන ශාක්‍ය රජුගේ පරම්පරාවේ උදවිය ලංකාවට විත් ලංකාවේ පදිංචි වූහ. එසේ පදිංචිවූ ක්‌ෂත්‍රීයන් රාජ පරම්පරාවක්‌ වශයෙන් ජනපද ඉදිකොට රුහුණේ රජකම් කළහ. රුහුණේ ක්‌ෂත්‍රීය රාජපරම්පරාවක්‌ පිළිබඳව මහාවංශයේ සඳහන් වේ. ක්‌ෂත්‍රීය රාජ පරම්පරාව කඩුගා විනාශ කරදැම්මේ ගෝඨාභය විසිනි. මේ ලංකා ගමනයද ඥතත්ථ චරියාවේ එක්‌ පරිච්ඡේදයකි.

බුදුරජුන් මේ අන්දමට ඥතත්ථ චරියාවේ යෙදුනත්, සම්බුද්ධ ශාසනයේ ඉහළම තනතුරුවලට ශාක්‍යයන් පත්වූයේ නැත. සම්බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් වූයේ බ්‍රාහ්මණ වංශික සැරියුත් මුගලන් දෙනමය. භික්‌ෂු පරපුරේ ආදීතමයන් වූයේ බ්‍රාහ්මණ වංශික පස්‌වග මහණුන්ය. බුදුරජුන් පිරිනිවීමෙන් පසු ශාසන භාරධාරිත්වය ගන්නට ක්‍රමානුකූලව ඉදිරියට ගෙන ආවේ බ්‍රාහ්මණ වංශික මහා කාශ්‍යප තෙරුන්ය. එය ආරම්භ වූයේ බුදුරදුන්ගේ චීවරය කාශ්‍යප තෙරුන්ට දී කාශ්‍යප තෙරුන්ගේ චීවරය බුදුරජුන් පරිහරණය කරණයෙනි. බුද්ධ ශාසනයේ අග්‍ර විනයධරයා වූයේ උපාලි හිමියන්ය. ඒ ශාක්‍යයන්ගේ හිස රැවුල් බෑ කපුවාය. (කරණවෑමියා)

ගෞතම සම්බුද්ධ ශාසනයේ ඉහළම තනතුරුවලින් ශාක්‍යයන්ට ලැබුණේ එකක්‌ පමණි. ඒ ආනන්ද හිමියන් ලද අග්‍ර උපස්‌ථායක හා ධර්ම භාණ්‌ඩාගාරික තනතුර පමණි.
විජිතනන්ද සරච්චන්ද්‍ර
.