භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

බුදුරජුන්ගේ මහා ප්‍රඥාව

යමක් අසා ඇති කරගන්නා දැනුවත් වන ස්වභාවය, විමසා දැන ගන්නා ස්වභාවය හා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නා ස්වභාවය ප්‍රඥාව වශයෙන් දැක්විය හැකිය. පූරිපූර්ණ ඤාණ ධාතුවෙන් නිෂ්පන්න මෙම වචනය පාලි භාෂාවෙන් පඤ්ඤා වශයෙන් දක්වා ඇත.
බුදු දහමෙහි ඉගැන්වෙන ප්‍රඥාව ආර්ය ශ්‍රාවකයන් තුළ පවතින්නා වූ ප්‍රඥාව සහ සම්බුදුපියාණන් වහන්සේ තුළ පවත්නා වූ ප්‍රඥාව වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. සාරිපුත්ත මහරතන් වහන්සේ මහාකච්චායන මහරහතන් වහන්සේ වැනි මහාශ්‍රාවක උත්තමයන් තුළ පැවැති ප්‍රඥාවට වඩා සුවිශේෂි මහා ප්‍රඥාවක් බුදුපියාණන් වහන්සේ සතු විය. උන්වහන්සේ සතු ප්‍රඥාවට ධර්මයෙහි පවසන්නේ මහා ප්‍රඥාව යන්නයි. ඒ මහා ප්‍රඥාව පිළිබඳව කෙටියෙන් විමසා බලමු.
ප්‍රඥාව නම් වූ වචනයට විවිධ අර්ථ කථනයන් ලබාදී තිබුණත්, ධර්මයෙහි ප්‍රඥාවට අර්ථ විවරණ සපයනුයේ නිර්වාණ මාර්ගයෙහි අත්‍යාවශ්‍ය අංගයක් ලෙසිනි. තවද ධර්මය විශේෂ වශයෙන් දැනගැනීමේ අර්ථයෙන්ද ප්‍රඥාව හඳුන්වා ඇත. එසේම ප්‍රඥාව සමාධිය තුළින් උපදවා ගත යුතු එකක් බවද අටුවාචාරීන්ගේ අදහසයි. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය බෙදා කරනු ලබන විග්‍රහයේදී ද ඒ බව තහවුරු වෙන අතර එහිදී ද ප්‍රඥාව විදර්ශනා නුවණ වෙන බව තහවුරු වේ.
සමස්තයක් ලෙසින් ප්‍රඥාව යනු විදර්ශනා නුවණ බව වටහා ගෙන ආර්ය සත්‍යාවබෝධයේදී බුදුපියාණන් වහන්සේ සතු වූ ඒ මහා ප්‍රඥාව කෙබඳු එකක් දැයි විමසා බැලීම වටී. ඒ අනුව ලෝක ස්වභාවයෙන් අවබෝධ කර ගැනීමේදී ඒ ඒ ස්ථල නියෝජනය කරන අය එම ප්‍රස්තුතයන් වටහා ගන්නා ආකාරය බුදුපියාණන් වහන්සේ මෙහිදී මනා ලෙස විග්‍රහ කොට ඇත.
පෘථග්ජනයා පඨවිය හඳුනා ගනියි. ඔහු පඨවිය තමාගේ කොට ගනියි. පඨවියෙහි සතුටුවෙයි. ඇළෙයි. ඊට හේතුව ප්‍රථග්ජනයාට ඒ පඨවිය පිළිබඳව කිසිදු අවබෝධයක් නැතිකමය. සේක පුද්ගලයා පඨවිය තේරුම් ගනියි. පඨවිය මගේ යැයි ගැනීමට පැකිළෙයි. පඨවියෙහි ඇලීමට පැකිළෙයි. ඊට හේතුව පඨවියට අදාළ කරුණු තේරුම් ගතයුතු යැයි ඔහු දැන සිටීමය. අසේඛ පුද්ගලයා පඨවිය අවබෝධ කර ගනියි. පඨවිය මගේ යැයි නොගනියි. පඨවියෙහි නො ඇළෙයි. ඊට හේතුව ඔහුට හොඳ අවබෝධයක් තිබීමය. තථාගතයන් වහන්සේද පඨවිය අවබෝධ කර ගනියි. පඨවිය තමාගේ යැයි නො ගනියි. පඨවියෙහි නො ඇලෙති. ඊට හේතුව උන්වහන්සේට පිරිපුන් අවබෝධයක් තිබීමය.
මෙයින් පැහැදිලි වන්නේ අසේඛ පුද්ගලයාගේ දැනුම සම්පූර්ණ එකක් නොවන බවත්, ඔහුට ඇත්තේ ප්‍රස්තුත කාරණයන්ට අදාළ වූ දැනුමක් බවත්, තථාගතයන් වහන්සේට එම සෑම ප්‍රස්තුතයක්ම ඉක්මවා යන දැනුමක් ඇති බවත් ය. උන්වහන්සේගේ දැනුම හැඳින්වීමේ පරිඤ්ඤාතන්තං යනුවෙන් යෙදූ පදයෙහි අදහස් කරන්නේ කෙලවරටම දැනගත් යන්නයි. මූල පරියාය සූත‍්‍රයට අනුව උන්වහන්සේ “සබ්බසෝ ආසවානං ඛයා” යනුවෙන් සියලු අයුරින් ආශ්‍රය දුරු කළ තැනැත්තෙකි. රහතන් වහන්සේ වනාහි ආසවක්ඛය යනුවෙන් දක්වා ඇත. සරලව පවසන්නේ නම් රහතන් වහන්සේලාගේ දැනුම අදාළ ප්‍රස්තුතයන්ට සීමාව පවතී. ඒවා ඉක්මවා යන්නේ නැත.
බුදුරදුන් උන්වහන්සේ සතු වූ ඒ මහා දැනුම සාරගයකට උපමා කොට ඇත. උන්වහන්සේ ඤාණ සාගරයකි. ප්‍රඥා සාගරයකි. අන් කිසිදු ශ්‍රාවකයෙකු තුළ නොතිබුණු මහා ඤාණ සම්භාරකට උරුමකම් කීමට බුදුපියාණන් වහන්සේට හැකි විය. බුදුපියාණන් වහන්සේ මහා සීලස්කන්ධයෙන්ද, මහා සමාධිස්කන්ධයෙන්ද, මහා ප්‍රඥාස්කන්ධයෙන්ද, මහා විමුක්තිස්කන්ධයෙන්ද මහා විමුක්ති ඤාාණදර්ශනස්කන්ධයෙන් ද සමන්විත වූ බැවින් මහා ප්‍රඥා නම් වූහ. සතර සතිපට්ඨානය, සතර සෘද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන විර්යය, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොජ්ඣංග ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී නිවනට උපකාරි වන්නා වූ බෝධිපාක්ෂික ධර්මයන් ගැන උන්වහන්සේට අන්‍ය මහරතුන්ගේ දැනුම ඉක්මවාලන සුළු වූ දැනුමක් තිබූ බැවින් උන්වහන්සේ මහා පුඥාවෙන් අගතැන්පත් වූහ.
බුදුපියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඤාණය, චතුවේසාරජ්ජ ඤාණය, ෂඩ් අසාධාරණ ඤාණ, දසබල ඤාණ, චුද්දස ඤාණ, සෝළස මහා ඤාණ, තෙසැත්තෑ ඤාණ, සත්සැත්තෑ ඤාණ ආදි මහා ඤාණ සම්භාරයකින් යුක්ත වූ බැවින් මහා ප්‍රඥායාණන් වහන්සේ වූහ.
බුදුරජාණන් වහන්සේට ලොව සිටින අන් කිසිදු දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකට හෝ මාරයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ ශ්‍රමණයෙකුට හෝ කිසිවෙකුට නැති තමනට ම පමණක් උරුම වූ විශාරද ඤාණ හතරක් පැවැතුණි.තමන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ වෙමි යැයි ප්‍රතිඥා කරන විටද, තමන් වහන්සේ ක්ෂාණශ්‍රවයෙකු වෙමි යැයි ප්‍රතිඥා කරන විටද, තමන් වහන්සේ විසින් යම් යම් අන්තරායකර ධර්ම දේශනා කරන විටද, එය එසේ නොවේ යැයි කීමට සමත් කිසිවෙකුත් අභියෝගයට ලක් කළ හැකි කිසිවෙකුත් නැති බවත්, බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ධර්ම මාර්ගය අනුගමනය කළත් තමාට ඒ තුළින් සියලු දුක් කෙළවර කළ නොහැකි විය. එය දුක් කෙළවර කළ හැකි මාර්ගයක් නොවේ යැයි පැවැසිය හැකි කිසිවෙකුත් ලොව නොවේ යැයි බුදුරජාණන් වහන්සේ විසින් පවසා තමන් වහන්සේ මේ කාරණා හතරින් විශාරද භාවයට පත්ව ඇති බවත් සිහිපත් කොට ඇත. එයද බුදුපියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙහි ස්වභාවයකි.
උන්වහන්සේට අනු ශ්‍රාවකයන්ට නොමැති විශේෂ ඤාණ හයක් විය. ඒවා ෂඩ් අසාධාරණ ඤාණ නම් වේ. 1. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය, 2. ආසයානුසය ඤාණය, 3. යමක පටිභාරිය ඤාණය, 4. මහාකරුණාසමාපත්ති ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය යනු ඒ හයයි. උන්වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් ධර්මය දේශනා කරන විටදී තමන් වහන්සේ සතු වූ මේ සුවිශේෂ කාරණයන්ගේ උපකාරය ලබා ගත්හ. සිය ශ්‍රාවකයන් ඉක්මවීමේදී එක් රාමුවකට කොටු නොවී විවිධ ක්‍රමෝපායයන් භාවිතා කරන ලද්දේ මේ ෂට් අසාධාරණ ඤාණයන් තුළින් ඒ ඒ සත්ත්වයන්ගේ චිත්ත ස්වභාවයන් මනා ලෙස තේරුම් ගත් බැවිනි. විශේෂයෙන් මේ ඤාණ හය අතරිනුත් ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය සහ ආසයානුසය ඤාණය උන්වහන්සේ වඩාත් ප්‍රයෝජනයට ගත්හ.
යම්කිසි පුද්ගලයෙක් තමන් වෙතට පැමිණෙන විටදී උන්වහන්සේ මේ ඉන්ද්‍රි‍්‍රයපරෝපරියත්ති ඤාණය තුළින් අසවලාට ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව තිබේදැයි මනා ලෙස විමසා බලති. සත්ත්වයෝ වනාහි අල්පරජස්ක හා මහාරජස්ක වශයෙන් දෙ කොටසකි. එසේම ඔහුන්ගේ සද්ධා, විරිය, සතිය, සමාධිය හා ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්ම හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් කොටස් තුනකට වර්ග කොට ඇත. ඒ ඒ පුද්ගලයාගේ සද්ධා ඉන්ද‍්‍රිය ධර්මයන්ගේ හීන මධ්‍යමාදි ප්‍රමාණයන් මනා ලෙස දැක ගන්නා බුදුපියාණන් වහන්සේ ඔවුනට ඒ ඉන්ද්‍රිය ධර්මයන් පරිපාකයට පත්වෙන ලෙසින්, විදර්ශනා නුවණ ලැබිය හැකි ලෙසින් ධර්මය දේශනා කරති. එවන් හැකියාවක් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේටම පමණි. එසේම ඒ ඒ පුද්ගලයාගේ අදහස් හා යටි සිතෙහි ස්වභාවය මනා ලෙස දැනගෙන ධර්ම දේශනා කිරීම බුදුපියාණන් වහන්සේගේ සිරිතකි. උන්වහන්සේ චුල්ලපන්ථක හිමියන්ට රෙදි කැබැල්ලක් ස්පර්ශ කරන්නට දී නිවන් මඟ පෙන්වූයේද, කිසාගෝතමියට අබ සොයා යන්නටදී නිවන් මඟ පෙන්වූයේද ආලවකට අවනත වී නිර්වාණ මාර්ග දර්ශනය ඇතිකළේද ඒ මහා ප්‍රඥාාවේම එක් එක් ක්‍රමවේදයන් ලෙසනි.
තමන් වහන්ගේ සතු වූ ඒ මහා ඤාණයන් නිසා කිසිවෙකුත් අපහසුතාවට පත්කළේ නැත. ඒ සියලු ප්‍රඥා බලයන් උපයෝගි කර ගත්තේ තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන්ම ය. ලොකු කුඩා උගත් නූගත් සෑම සමාජ තරාතිරකම අය ඇසුරු කළේ මහා ප්‍රඥාව නිසා මානයට පත් නොවු නිසාය. තමන් වහන්සේ සතුව මහා ප්‍රඥාව සැම විටම දුකින් පෙළෙන සත්ත්වයාගේ සංසාර විමුක්තිය පිණිසම යොමු කරන්නට බුදුපියාණන් වහන්සේ උත්සුක වූහ. ධර්මය දේශනා කළේ හුදෙක් ශ්‍රාවකයාගේ දැනුම වර්ධනය කිරීම සඳහාම නොවේ. ආර්ය සත්‍යය ගැන දැනුවත් කොට ඒ හමුවේ තමන් කළ යුතු කාර්යභාරය වටහා ගෙන ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මෙහෙයවනු ශ්‍රාවක පිරිසක් උන්වහන්සේ නිරන්තරයෙන් අපේක්ෂා කළහ. සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් මේ ආර්ය ධර්මය අවබෝධ කරගත යුතු බව බුදුපියාණෝ නිරන්තරයෙන් ම තම ශ්‍රාවකයන්ට අවධාරණය කර ඇත්තේ එබැවිනි.


පවසා අවසන් කළ නොහැකි අනන්ත බුදුගුණ

අපේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ අපට වදාළා මහණෙනි, මම සර්වඥයැයි, සම්බුද්ධ යැයි දේශනාකළත්, නුඹලා විසින්ම ඒ බව නුවණින් විමසා බලා ඒ බව ප්‍රතක්ෂයෙන්ම තම තමන් විසින් හඳුනා ගත යුතු බවයි. එබැවින් සඳුන් හරයක් කපන්න කපන්න එහි සුවඳ මතු වන්නාක් සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමසන්න විමසන්න බුදුගුණ සුවඳ විහිදෙන්නට පටන් ගන්නවා. සැබැවින්ම උන්වහන්සේ හඳුනා ගන්නට නම් එය අසිරිමත් බුද්ධ විලාස චරිතය විමර්ශනය කොට ඉගෙනගත යුතු වෙනවා.
අප දන්නවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කථා කරන විට උන්වහන්සේ සතු නවඅරහාදි බුදුගුණ පිළිබඳව. මින් කියන්නේ බුදුරජාණන් වහන්සේ සතු ගුණ නමයක් ගැනයි. සැබැවින්ම මින් කියන්නේ බුදුරජාණන් වහන්සේලා සතු අනන්ත ගුණයන් නමයකට බෙදා ස්කන්ධ ගොඩවල් සමූහ වශයෙන් නව ආකාරයකට බෙදා දැක්වීමයි. මේ එකම බුදුගුණයක් සොයා බැලුවොත් කිසිදා කිසිවෙකුට එහි නිමාවක් දැක්ක නොහැකි බවයි අපට පැහැදිලි වෙන්නේ.අරහං ගුණය පැහැදිලි කරනවිට බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කල්පයක් මුළුල්ලේ නො නවතී කියාගෙන ගියේ වී නම් කල්පය ගෙවිලා අවසන් වේවි. නමුත් බුදුගුණ කියා නිමකළ නොහැකි බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. එබඳු ගුණ අතරින් අපගේ ශාස්තෘන් වහන්සේත් පරිපූර්ණයි. මහා සාගරයක් බඳු බුදුගුණ දවසින් සවස අප හඳුනා ගන්නට උත්සුක වන්නේ නම් ඔබත් මමත් මීටත් වඩා බුදුරජාණන් වහන්සේට සමීප වෙනු ඇත.
අරහං යන වචනයෙන් පැහැදිලි කරන්නේ සුදුස්සා කියන අර්ථය යි. සුදුස්සානම් කුමක් සඳහා ද? ඒ සුදුසුකම සියලු දෙනාගේම ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට පිළිගැනීමට සුදුසු බවයි. යමක් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පුදන්නේ බුදුබව, පසේබුදුබව, මහරහත් බව ආදි ලොවුතුරු අරමුණක් හෝ දිව්‍ය, මනුස්ස, සිට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදී ලෞකික අරමුණක් අපේක්ෂා කරගෙන විය හැකියි. ඒ ලෞකික වූත්, ලෝකෝත්තර වූත් සියලු අපේක්ෂාවන් ඉෂ්ඨ සිද්ධකර දීමට යමෙකු සුදුසුද ඔහු ඒකාන්තයෙන්ම සියලු දෙනාගේම පුද පුජා ලබන්නට සුදුසු වන සේක. අරහං නම් ගුණයට සුදුසුකම් ලබන්නේය. ඒ සුදුසුකම කෙසේ ලැබුනෙ ්ද? ශාක්‍ය රජකමෙන් ලැබුණ තනතුරක් ද? බිම්බිසාර මහරජුගෙන් ලැබුණ සම්මානනීය තනතුරක් ද? බුදුරජාණන් වහන්සේ කාගෙන් හෝ ලද සම්මානනීය තනතුරක් නොවේ එය. එයට හේතුව පළමුකොට සසර ගමන නතර කළ නිසයි. මේ සසර යනු කුමක්ද? සසර ගමන යනු කුමක්ද? සසරේ පැවැත්ම නැවැත්ම කුමක්දැයි? ඔබට අතුරු ප්‍රශ්න රැසක් මතුවෙනු ඇත.සතර අපාය සහිත උප්පත්ති ස්ථාන කාමරූප, අරූප රූප වශයෙන් තිස්එක් භවයක් දකින්නට ලැබෙනවා. මේ තිස්එක් භවයෙහි නැවත නැවත ඉපදෙමින්, මැරෙමින් මේ යන ගමනයි සසර ගමන කියා දක්වන්නේ. මෙය සැනසුම්දායක සුවදායක ගමනක් නොවේ. ජාති දුකත්, ජරා දුකත්, ව්‍යාධි දුකත් මරණ දුකත්, අපි‍්‍රයන් හා එක්වීමේ දුකත්, පි‍්‍රයන්ගෙන් වෙන්වීමේ දුකත් කැමැති දේ නොලැබීමේ දුකත්, ශෝකපරිදේව දුක්ඛ දෝමනස්ස පංචඋපාධනස්කන්ය ආදී මූලික දුක්ඛදායකයන්ගෙන් පිරුණ බියකරු බිහිසුණු ගමනක්. ඒ ගමන උන්වහන්සේ පළමු කොට ලොව නතර කළ බැවින් උන්වහන්සේ මග්ග, මග්ගවිදූ, මග්ගකෝවිදූ නාමයන්ගෙන්ද හඳුන්වනු ලබනවා. උන්වහන්සේ පළමුකොට සසර ගමන නරත කරන මඟ හඳුනාගෙන අවබෝධ කරගෙන ඒ මාර්ගයෙන් සසර ගමන නිමකළ බැවින් අප සියලු දෙනාගේ පුදපූජා ලබන්නට සුදුස්සා බවට පත්වෙනවා.කෙසේද උන්වහන්සේ මේ සසර ගමන නතර කළේ. නැවත නැවත සසරේ සැරිසැරීම කර්මානුරූපි ගමනක්. කර්ම යනු කුසල හා අකුසලයි. නැත්නම් පුණ්‍ය, අපුණ්‍ය , ආභිඥායි . මේ සියලු සංස්කාරයෝ සසර නිර්මාණය කරන ධර්මයෝ. එබැවින් උන්වහන්සේ කාය කර්මය, වාග් කර්මය, මනෝ කර්මයන්ගෙන් නිදහස් වුණා. ඒ නිසා සසර ගමන නතර කරන්නට පුළුවන් වුණා. උන්වහන්සේ ජීවිතය තුළ කයින්, වචනයෙන්, මනසින් කිසිදු වරදක් ප්‍රමාද දෝෂයක්, අකුසලයක්, පාපයක් දකින්නට ලැබෙන්නේ නැහැ.බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව නැවත නැවත සිහිකළ යුතුය. නමුත් එය වදනයක් පමණයි. සැබැවින්ම එය යථාර්ථයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මුළු ජීවිතය සිසාරා එවැනි වරදක් වූවාදැයි විමර්ශනය කළ කෙනෙකුට පමණයි. එය කළ යුත්තේ බුදුගුණ සෙවීම, බුදුගුණ භාවනාව සොය බැලීමයි. බුදුවීමට පෙර අවුරුදු හයක් බුදු වී වසරක් යනතෙක් සත් වර්ෂයක් මාරයා විසින් නින්දා අපහාස කිරීමට වරදක් සොයමින් සිටියා. කයින් වචනයට වඩා සිතුවිලි මාත්‍රාවකින් දෝෂයක් තිබෙනවාද කියා සෙව්වා. ඒ නිසා අදත් බුදු සිරිත බුද්ධගයා බෝධි මණ්ඩලයේ සිට කුසිනානුවර සල් උයනේ දෙනෙත් පියාගත් මොහොත දක්වා සොයා බැලුවත් කිසිදු වරදක් උන්වහන්සේගේ බුද්ධ චරිතය තුළින් සොයා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අප ඒ නිසා උන්වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු කෙලෙස් සතුරන් නැතිකළ සේක. මෙහිදී සිත යනු කුමක් ද? සිත කෙලෙසන ධර්ම මොනවා ද? ඒ කෙලෙස් උපදින්නේ කෙසේද? කෙලෙස් ඇතිවීමේ දොරටු මොනවාදැයි සවිස්තරාත්මක විමසීමක් සිදුකරගත යුතු වෙනවා. අප මේ සියල්ල කැටිකොට විමසා බැලුවොත් උන්වහන්සේ රහසින්වත් පව් නොකළේ නම් ඒකාන්තයෙන් ඒ බුදුසිරිත අතිශයින්ම පාරිශුද්ධ සන්තානයක්ම විය යුතුයි. ඒ සඳහා අප භාවනාමය පර්යේෂණයක් සිදුකළ යුතුය.
තථාගයන් වහන්සේ බුදු පදවිය ලබන මොහොතේ පටන් දෙනෙත් පියාගත් කුසිනානුවර සල්ගස් අතර දක්වා සෙමින් සෙමින් බුදු සිරිත විමසිය යුතුය. බුදුරජාණන් වහන්සේට දෙවියන්, බඹුන්, නාගයන්, මනුස්සයන්, අමුනුස්සයන් ආදී සියලු දෙනා වැඳ නමස්කාර කළ පූජනීය තනතුරක්. ඊට වැඩි තවත් තනතුරක් මේ තුන් ලොව ම නැහැ. ඔබ මොබ දිසාවට හැරී බලන්න. ඔබට පිළිගත් තනතුරක් ලැබුනා කියා සිතන්න. ඒ තනතුර ලැබුන විට ඔබේ සිතේ පහළවන හැඟීම් කෙසේද? මාන්නය, අහංකාරකම වැනි කලෙස් වලින් පිරී පවතිනු ඇත. ඔබ මෙන් ලෝකයාත් මේ හා සමාන වෙයි.
නමුත් බුදුරජාණන් වහන්සේ බුදුබවට පත් වූ විට සොයා බැලුවා මට මේ පදවියට උපකාර කළේ කවුරුද? ආලාරකාරාම, උද්දකාරාම ගැන සොයා බැලුවා. ඔවුන් මියගොස් සිටි නිසා පස්වග මහණුන් දෙස බැලුවා. එහෙනම් උන්වහන්සේ ලොව තිබෙන උතුම්ම පදවියට පත්වෙලා පළමු කොට තමන්ට උපකාර කළ අය දෙස සොයා බැලුවා. ඒ බුදු සිරිතේ අසිරිය යි.
ඊළඟට ඔබ උපකාර කළවුන් ළඟට ඔබ ගියේ යැයි සිතන්න. ඔවුන් ඔබ නො පිළිගන්නේ නම් ඔබ හෑල්ලු කරන්නේ නම් ඔබට නොසලකා සිටින්නේ නම්, ආසනයක් තරම්වත් පහසුකමක් නොදෙන්නේ නම් කෙබඳු අදහසක් ඇතිවේවිද? මම ආවේ උදව් කරන්න. ඒ අයට එපානම් මට මොකටද? කියා සිතාවි. කෙලෙසුන් සිතින් අකුසල් රැස්කර ගන්නවා නොවේද? ලෝකයාගේත් සිතුවිලි හා ක්‍රියාකාරකම් එබඳුමයි. දැන් බුදුසිරිත දෙස බලන්න. එබඳු සිතක් බුදුරජාණන් වහන්සේට ඇතිවූවාද? උන්වහන්සේ කෙලෙසුන්ගෙන් නිදහස්්. ඒ වගේම ස්ත්‍රී දූෂණ, මිනී මැරුම් චෝදනා ආදියට ඔබ මුහුණ දුන්නානම් අපේ සිතේ පහළ වන සිතුවිලි දාමය සමඟ කෙබඳු කෙබඳු ප්‍රතික්‍රියා කරයිද? බුදුරජාණන් වහන්සේ ඒ අපහාසයට ඒ චෝදනාවට ලක්වුණා. උන්වහන්සේ කටයුතු කළේ කෙසේද? බොහෝ නින්දා අපහාස සැවැත්නුවර සිසාරා නැඟෙද්දී, සැවැත්නුවර හැර යන්නට ආනන්ද හිමියන් යෝජනා කරද්දී බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට පෙරලා නින්දා අපහාස කළ බවක්, චෝදනා කළ බවක්, සාප කළ බවක් දැක්වෙන්නේ නැහැ. කෙලෙසුන් සිතින් කළ ක්‍රියාකාරී බවක් හමුවන්නේ නැහැ. මෙසේ විමසා බලන කළ අප බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු පාපයන්ගෙන් නිදහස්ව සසර ගමන නතර කළ සේක. සියලු දෙනාගේ පුද පූජා ලබන්නට අරහං ගුණයන්ගෙන් පරිපූර්ණ බව දැන් ඔබට වැටහෙනු ඇත. උන්වහන්සේ ගුණ එකින් එකට විමසා බැලුවොත් තමන් ඉදිරියේ වැඩ සිටින්නේ තුන්ලොව ජයගත් අසිරිමත් පුද්ගලයෙකු නේදැයි ඔබට සිතෙනු ඇත.
ඔබගෙත් මගේත් ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ බුදුසිරිත ගැන මනා අවබෝධයකින් විමසා බලද්දී මගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම ‘අරහං’ වන බව ඔබට දැන් ප්‍රත්‍යක්ෂ නොවේද? මඩෙන් හටගත් මලක් විලෙන් ඉහළට ඇවිදින් සුවඳ පැතිරෙන්නාක් මෙන් එදා කළ ප්‍රකාශයේ යථාර්ථය වැටහෙනු ඇත. මිනිස් සමාජය වැනි මඩ වගුරෙන් හට ගෙන මඩ ඉක්මවා මඩ නොතැර වී ලොව තුළ වැඩ ඉන්න නික්ලේෂි බුදුරජාණන් වහන්සේ ඔබට හමුවෙනු ඇත. ඒ උතුම් දර්ශනය තුළින් ඔබගේ සිත සැනසේවා.
නයනා නිල්මිණි
.