භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

ලොවුතුරු බුදු බව



පැවිදි වී සතියකට පසු සදහම් දෙසුම් ඇරැඹූ පූජ්‍ය හෙණ්ඩියගල සීලරතන හිමිපාණෝ එතැන් සිට අඩසිය වසකට වැඩි කාලයක් ලක්බිම සදහම් වැස්සෙන් නැහැවූ හ. ඒ දෙසුම් පටිගත කොට රැකගත් මේ හිමියන්ගේ ශිෂ්‍ය ශාස්ත්‍රපති මඩවල සීලවිමල හිමි සහ ශාස්ත්‍රපති හේනේගෙදර සිද්ධාර්ථ හිමි ඒවා මුද්‍රණය කොට පළ කළහ. ඒ අයුරින් දෙසූ බසින් ම ඒ දෙසුම් ලිපි වශයෙන් සැකැසිණ. ඒවා රැකගත්, රටට දුන් ඒ හිමි දෙනමට සැදැහැතියෝ පින් දෙති. මේ දෙසුම් අප පළ කරනුයේ පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන්ගේ අනුග්‍රහයෙනි.

ඡ‘අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පභාතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණාති.’
බුද්ධ කියන්නෙ කාටද, එහෙම නැත්නම් ඔබ වහන්සේට බුද්ධ කියන්නේ මොන තේරුමක් පිටද කියල බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ අවස්ථාවෙ, එයට පිළිතුරු වශයෙන්, බ්‍රාහ්මණය මට ‘බුද්ධ’ කියන්නෙ මෙන්න මේ තේරුම ඇතිවයි කියල බුදුහාමුදුරුවොම, බුද්ධ කියන වචනෙ තේරූ අන්දම කියන ගාථාදේශනාවක් මා මාතෘකා කළේ.
ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය කියන්නේ මේ ලෝකයේ ලබන්නට තියෙන ඉතා උසස්ම, පූජනීය ගෞරවනීය මහේශාක්‍ය මහෝත්තම පදවිය. ඒ ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යය ඤාති පරපුරෙන් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඒක වෙන මොනම ක්‍රමයකින්වත් දිනාගන්ට පුළුවන් කමක් නෑ. ඒ සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබාගැනීමට අපේ ත්‍රිපිටකයේ කියන අන්දමට, අපේ බෝධිසත්ත්වයන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් මුළුල්ලෙහි, සුමේධ තාපස ව උපන් දින ඉඳලා, දස පාරමී ධර්මයන්, දස උපපාරමී ධර්මයන්, දසපරමාර්ථ පාරමී ධර්මයන් කියන මේ සමත්‍රිංසත් බුද්ධකාරක ධර්මයන් පුරලා බොහෝ කාලයක් සංසාරේ අපමණ පිං දහම් රැස් කරලා, ඒ පුණ්‍ය බලයෙන්, ඒ දියුණු කළ ඥාන බලයෙන්, ඒ පාරමිතා බලයෙන්, ඒ බුද්ධකාරක ධර්මයන්ගේ බලයෙන්, ලබාගත්තු අතිශ්‍රේෂ්ඨ පදවිය, ලොවුතුරා සම්මා සම්බුද්ධ පදවියයි.
අපේ බුදුරජාණන් වහන්සේ කවුද කියල හරි–හැටි තේරුම් අරගෙන නැති නිසා බොහෝ දෙනා සමහර අවස්ථාවල විවිධ විවේචන, විවිධ මත, පළ කරනව. ලිපිවලින් පුවත්පත් සඟරාවලින්, පොත්පත්වලින්, ගුවන්විදුලියෙන්, කථාබස්වලින් අපට අහන්ට ලැබෙනවා. නිකම්ම අපේ බුදුරජාණන් වහන්සේට බොහෝ දෙනා කථා කරන්නේ ‘බුදුන්’ කියල. මේක ශ්‍රද්ධාව නැතිකම නිසා කියවෙන වචනයක්. මං හිතනවා මේ පින්වතුන්ගෙන් වැඩි හරිය පූජාවලිය, අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, උම්මග්ග ජාතකය, ජාතක පොත, බුදුගුණ අලංකාරය, ගුත්තිලය, කාව්‍යශේඛරය වැනි ඔය ගද්‍ය, පද්‍ය අපේ සිංහල ග්‍රන්ථ කියවල ඇති කියලා. එහෙම කියවලා තියෙනවා නම් බුදුහාමුදුරුවො ගැන ඉතාම සුළු අල්පමාත්‍ර දැනීමක් ඇති කරගන්නට පුළුවනි. බුදු රජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව කථා කරතොත් අපට නිතර ඇහෙනවා උන් වහන්සේගේ ගුණ ගායනා කරන ගාථාවක්.
බුද්ධෝපි බුද්ධස්ස භනෙය්‍ය වණ්ණං
කප්පම්පිචේ අඤ්ඤමහාසමානෝ
ඛීයේථ කප්පෝ චිර දීඝමන්තරේ
වණ්ණං නඛීයේථ තථාගතස්ස
‘බුද්ධෝපි බුද්ධස්ස භනෙය්‍ය වණ්ණං’, බුදු කෙනෙක්ම බුදුකෙනෙකුගේ ගුණ කියන්ට හිතල ‘කප්පම්පිචේ අඤ්ඤමහාසමානෝ’, කල්පයක් මුළුල්ලෙහි වෙන මොනම වචනයක්වත් කාරණයක්වත් නොවදාරා, බුදුගුණම කියාගෙන ගියත් ‘ඛීයේථ කප්පෝ චිර දීඝමන්තරේ අතිශය දීර්ඝ කාලයකින් කල්පය අවසාන වීගෙන යාවි. ‘වණ්ණං නඛීයේථ තථාගතස්ස,’ නමුත් බුදු රජාණන් වහන්සේගේ ගුණය අවසාන වෙන-එකක් නෑ.
මේ වදාළේ බුදුහාමුදුරුවො. බුදුකෙනෙක්ම බුදුකෙනෙකුගේ ගුණ කියාගෙන ගියත්, කල්පයක් අවසාන වන තුරු, වෙන මොනම බණක්වත් නොකියා බුදුගුණම ගැන කථා කළත් බුදුහාමුදුරුවන්ගේ ගුණ කථාව අවසාන කරන්න බැහැ. අතිශය දීර්ඝ කාලයකින් කල්පය ගෙවී යනවා මිස.
බුදු රජාණන් වහන්සේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කෙලෙස් නැති කරලා රහත් වුණා පමණයි කියලා බොහෝ දෙනෙක් හිතනවා, කියනවා, කථා කරනවා.
කාගෙවත් ගුරුකමක් නැති ව ඉගැන්වීමක් නැතිව තමන් වහන්සේගේම නුවණින් මේ මධ්‍යම මාර්ගය සොයාගෙන සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ කෙලෙස් නැති කරලා බුද්ධත්වයට පත් වුණා. තමන්ම තනියෙන් ඒ නිවන් මග සොයාගත් නිසා උන් වහන්සේ මේ නිර්වාණ මාර්ගය පළමුවෙන්ම අවබෝධ කරගත්තු උත්තමය. ඒ මිසක් බුදු රජාණන් වහන්සේගේ ඊට වැඩිය අමුත්තක් නැති හැටියට බොහෝ දෙනා, කථා කරනවා. කියනවා. ලියනවා. උන් වහන්සේ පහළ වෙන කාලයේ විවිධ දර්ශන පහළ කළ දාර්ශනිකයන් දඹදිව, ඒ වගේ ම පෙර අපරදිග ලෝකයේ ගී‍්‍රසිය වගේ රටවල, චීනයේ, පර්සියාවේ පවා කොතෙකුත් හිටිය. බුදුහාමුදුරුවොත් ඒ හිටපු ඇත්තන් අතරෙන් එක් කෙනෙක් හැටියට බොහෝ දෙනා ලියනවා. කියනවා, කථා කරනවා.
බුද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය අද බොහෝ දෙනෙක්, වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ පර්යේෂණ පවත්වලා විභාගයක් පාස් කරන්ට. ඒකෙන් පොතක්-පතක් ලියන්ට කරුණු උපුටාගන්නට පමණයි. ඒ ධර්මය තේරුම් අරගෙන, බුදු රජාණන් වහන්සේ තේරුම් ගන්නට, බුදු රජාණන් වහන්සේ අඳුනාගන්නට හිතාගෙන ත්‍රිපිටකය කියවන, ත්‍රිපිටකය බලන, ත්‍රිපිටකය ඉගෙනගන්න, ඇත්තො මම හිතනවා මීට වර්ෂ විසි පහකට තිහකට පෙර හිටියට වඩා අද ඉන්නවා. බොහොම ශ්‍රද්ධාවෙන් බුදු රජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරුම් ගන්ට පමණක්වත් මේ තමන් ලැබූ උසස් ජීවිතය ගත කළොත් මේ ජීවිතයෙන් ලැබූ මහත්ම ප්‍රතිඵලය එය බව හිතල සැනසෙන්ට පුළුවනි. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා යන්තම් තේරුම් ගත්තොත්, බුදු රජාණන් වහන්සේ කියන්නේ කෙලෙස් නැති කළ සිද්ධාර්ථ කුමාරයෝ නෙවෙයි. ඊට වඩා විශිෂ්ටත්වයක් උන් වහන්සේගේ තියෙනවා කියන–එක අවබෝධ වෙනවා.
අපි දන්නවා උන් වහන්සේ එදා දඹදිව ශාක්‍ය ජනපදයේ හිටිය සුද්ධෝදන මහ රජ්ජුරුවන්ගේ පුත්‍ර රත්නය බව. උන් වහන්සේ ඒ කාලෙ කිඹුල්වත් නුවර රජකම් කළ රජ්ජුරුවො. මනුෂ්‍යයෙක්. හැබැයි ‘අච්ඡරියෝ මනුස්ස’ ආශ්චර්යමත් මනුෂ්‍යයෙක්.
ලෝකයේ පහළ වෙච්ච පාරමිතා නමැති ශිල්පියා විසින් නිර්මාණය කළ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පිරිය හැකි උසස් ම පින්කම් කරලා ඒ පින් බෙලෙන් ලැබූ මහා දර්ශනීය රූපකායක් උන් වහන්සේ රූපය වශයෙන් ලබලා තිබුණා. අපි තේරුම් ගන්නට ඕනෑ මිනිස් සමාජයේ අපි කෝටි ගණන් මිනිසුන් අතර, රූප සම්පත්තියෙන් අතිවිශ්ෂ්ට පුද්ගලයන් ස්ත්‍රීන් පුරුෂයන් අතර ඉඳහිට අපට දකින්නට ලැබෙනවා. උන් වහන්සේ ගැන කියන කොට ඒ ගුණ කථා කරන කොට කියන්නේ රූපයට ලෝකයේ යම් කෙනෙක් පහදිනවා නම් ඒ අතර ශ්‍රේෂ්ඨතමයා තමයි බුදු රජාණන් වහන්සේ. ලෝකේ වැඩිය ඉන්නේ රූපප්පසන්න පුද්ගලයෝ. රූපප්පසන්න, සෝසප්පසන්න, ලුබප්පසන්න ධම්මප්පසන්න කියල ලෝකයේ ඉන්නසත්ත්වයන් කොටස් හතරකට බෙදන්න පුළුවනි.
එක කොටසක් රූපයට පහදින අය. තව කොටසක් කටහඬට, ශබ්දයට පහදින අය. ඒ සෝසප්පසන්න. තව කොටසක් රූක්ෂ ප්‍රතිපත්තිවලට. ඒ වගේ දැඩි අත්තකිලමථානුයෝගය වැනි පිළිවෙත්වලට පහදින අය. ඒ ලුබප්පසන්න. බොහොම සුළු කොටසක් හොඳ ගුණ ධර්මවලට පහදින අය. ඒ ධම්මප්පසන්න. මේ කොටස් හතරෙන් ලෝකයේ කවදත් වැඩිය දකින්නට ලැබෙන්නෙ රූපප්පසන්න පුද්ගලයෝ. රූපයටයි ලෝකෙ පහදින්නෙ වැඩි හරියක්. ලෝකයේ රූපයට පහදිනවා නම් සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් වහන්සේගේ, ඒ බුදු බව ලබන්නට ඉස්සර තිබුණ රූප සම්පත්තිය දෙස බලලා නොපැහැදෙන කෙනෙක් එදා ලෝකයේ හිටියෙ නැහැ. එය පාරමිතා නමැති ශිල්පියා විසින් නිර්මාණය කළ රූපයක්.
අපි දන්නවා අපේ මිනිස් සමාජයේ අප අතර අදත් මිනිස්සු දාහක් හමාරක් එක තැනකට එකතු වුණාම ඒ මිනිසුන් අතර සමහර විට කැපීපෙනෙන විශිෂ්ට අරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත, ඒ වගේම ඉන්ද්‍රියන් හරියට නියම නිසි තැන පිහිටපු ඇස් දෙකෙන්, කන් දෙකෙන්, නාසයෙන්, කාර්යශූරත්වය, නිර්භීතකම, ප්‍රඥාව, අභිමානය පෙන්වන, හොඳ රූප සම්පත්තිය ඇති මිනිසුන් අපට දකින්නට ලැබෙනවා. සමහර විට දාර්ශනිකයන් හැටියට අප කථා කරන මිනිසුන් එබඳු රූප කාය සම්පත්තියක් ලැබූ අයයි. ඒ අතින් කල්පනා කරලා බැලුවත් සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. උන් වහන්සේගේ යටි සිරි පතුලේ දෙසිය සොළසක් මඟුල් ලකුණු පිහිටලා තිබුණා. උන් වහන්සේගේ අතුල්–පතුල් සාමාන්‍යයෙන් ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ගේ අතුල්–පතුල් වගේ නොවෙයි. ඒ රූපය රූප සාගරයක් මැද්දේ මතු වෙච්ච ඝන රන් පිළිමයක් වැනි අභිමානවත් දර්ශනීය රූපයක්.
බුත්සරණෙ විද්‍යාචක්‍රවර්ති බොහොම ලක්ෂණට වර්ණනා කරලා තියෙනවා. උන් වහන්සේගේ රූපය දැකපු මුවෝ කටට ගත්තු තණ එහෙමම තියාගෙන උන් වහන්සේ දෙස බලා ඉන්නවා. අනෙක් සත්තුන් එහෙමමයි කියලා. ඇස් ඇති මිනිසුන් උන් වහන්සේට පහදිනවා කියනඑකේ පුදුමයක් නැහැ. එබඳු ලස්සන මහා පුරුෂයන් බුද්ධ ශ්‍රාවකයන් අතර තවත් හිටිය. අපි දන්නව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, පිප්ඵලී මාණවකයා, රජගහ නුවර අදත් තියෙනවා පිප්ඵලි ගුහාව කියල එකක්. ඒ පිප්ඵලී කීවෙ කාශ්‍යප හාමුදුරුවන්ගේ ගිහි නම. මහා කාශ්‍යප කීවේ බුදුහාමුදුරුවො කථා කළ නම. සමහර විට බොහෝ අවස්ථාවල මහා කාශ්‍යප හාමුදුරුවන්ට රැවටිලා තියෙනවා බොහෝ දෙනා බුදුහාමුදුරුවො කියල. එයින් පෙනෙනවා මහා කාශ්‍යප හාමුදුරුවො රූප සම්පත්තියෙන් බුදු රජාණන් වහන්සේට හුඟක් කිට්ටු කළ කෙනෙක් බව. ඒ පාරමිතා බලය, ඒ පාරමිතා ශක්තිය, මේ පුණ්‍ය ශක්තිය කියන එක, මේ පාරමිතා ශක්තිය කියන-එක අපි බොහෝ දෙනා තේරුම් අරන් නැහැ.
පුණ්‍ය ඍද්ධිය කියල දසවිධ ඍද්ධිය පෙන්වන තැන විසුද්ධි මාර්ගයෙ කිව්වෙ ‘පුඤ්ඤවතෝ ඉද්ධි’ පුණ්‍යඍද්ධි. පෙර ජාතිවල රැස් කළ පින් නිසා මිනිසුන් ලෝකයේ ඉතා විශිෂ්ට ලෝකයේ දර්ශනීය අඟ–පසඟ ඇති පුරුෂයන් ව, ස්ත්‍රීන් ව ඉපදෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව වඩපුවාම බොහොම ලස්සනට උපදිනවා කියලා කියනවා. සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ බුදු වෙන්න කලිනුත් මේ ලෝකයේ හිටිය අතිශයින්ම දර්ශනීය ලස්සන රූපයක් දැරූ මහා විශිෂ්ට ආශ්චර්යවත් මනුෂ්‍යයෙක්. උන් වහන්සේගේ කාය බලය ගැන විශේෂ වර්ණනාවක් කරනවා. එහෙම කාය බලය ඇති පුරුෂයන් ලෝකයේ ඉඳ–හිට පහළ වෙනවා. අපි දන්නවා ඒ වගේ පුරුෂයන් පහළ වෙච්ච බව. මම මේ කීවේ බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය ශරීරය. ඒ ශරීරය බුදු වුණාට පස්සේ කේතුමාලා ෂඩ් වර්ණ ඝන බුදුරැස් වගේ දෙවල්වලින් විශිෂ්ටත්වයට පත් වුණා.
ඒ නිසා බුදු රජාණන් වහන්සේ රූප කාය සම්පත්තියෙන් වුණත්, ඔය අපි හිතන සාමාන්‍ය තත්ත්වයක කෙනෙක් නොවෙයි. උන් වහන්සේට පුළුවනි ඕනෑ අවස්ථාවක ඒ රූප කාය සම්පත්තිය නොපෙන්වා සාමාන්‍ය මනුෂ්‍යයෙක් හැටියට ගමන් කරන්නට. එහෙම තමයි අංගුලිමාල දමනයට වැඩියෙ. අන්තිමේ උන් වහන්සේ අංගුලිමාල පැත්තට හැරිලා කථා කළේ පිල් අකුළාගෙන හිටිය මොනරෙක් පිල් විදහාගෙන නටන්ට ලෑස්ති වෙනවා වගේ. අධිෂ්ඨාන බලයෙන් යටපත් කරගෙන තිබුණු විශිෂ්ට රූපය සම්පූර්ණයෙන් දක්වලයි.
අංගුලිමාල ඒ රූපය දෙස බලලයි වැඳ-වැටුණෙ. ඒ බුදු රජාණන් වහන්සේට තිබුණ ශක්තියක්. ‘සුගතෝ’ කියන වචනය තෝරන කොට කියනවා උන් වහන්සේ මනා කොට වඩින නිසා සුගත කියනව කියලා. ඒ මනා කොට වඩින හැටි අපේ සිංහල බණ පොත්වල උගන්වනවා. සාමාන්‍යයෙන් උන් වහන්සේ කිසි කෙනෙකුට හොයන්න බැරිව සාමාන්‍ය භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට වඩිනවා.
සමහර අවස්ථාවල උන් වහන්සේ තියන තියන අියක් අඩියක් පාසා පොළොව පළා නැගෙන සුදු නෙළුම්වලින් පා පියුම් පිළිගනිමින් ආශ්චර්යවත් මල් වැසි වස්සමින් වඩිනවා. චිත්ත ශක්තිය ගැන දැනීමක් නැති අය, පුණ්‍ය ශක්තිය පිළිබඳ තේරුමක් නැති අය සමහර විට හිතන්ට පුළුවනි ඕවා නිකන් මිනිස්සු රවටන්ට ලියාපු බොරු කථා කියලා. නැහැ පින්වතුනි නැහැ. අදත් ඉන්දියාවෙ ඉන්නව නේද ඔය වගේ අය? මම ඒ ඇත්තන්ගේ නම්-ගම් කියන්ට ලෑස්ති නැහැ. සමහර යෝගීන් සඳලුතලේ ඉඳලා අත දික් කරලා කථා කරන කොට ලක්ෂ ගණන් සෙනඟ අර මිදුලෙ ඈත ඉඳන් වැඳවැටෙනව නේද? ඒ අමුතු රූප කාය සම්පත්තියක්, අමුතු චිත්ත ශක්තියක්, අද්භූත බල විශේෂයක් ඒ පුද්ගලයන් තුළ තියෙන නිසා නේද?
.