භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

යථාවාදී තථාකාරී වූ බුදුරජාණන් වහන්සේ

පිටිගල ගුණරතන හිමි

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ සසර දුක තරණය කර ගන්නට දේශනා කළ සතිපට්ඨාන සූත්‍ර දේශනාව විමසා බලමින් අපටත් මේ ජීවිතය තුළදීම මේ ගෞතම බුදු සසුනේදීම ලොව්තුරු මඟ උපදවාගෙන මේ සසර කතරින් එතෙර වන්නට භාග්‍ය වාසනාව ලැබේවායි යන උතුම් ප්‍රාර්ථනාව සිත්සතන් තුළ තබා ගනිමු.
සතිපට්ඨාන දේශනාව කිනම් අරමුණක් අපේක්ෂාවෙන් කළයුතුද යන වග සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානං සමතික්කමානං ආදී වශයෙන් මින් ලැබෙන ප්‍රතිළුලය පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේ අනතුරුව සතර සතිපට්ඨානය පිළිබඳව උද්දේසවාරය මූලිකව නම් කිරීම මාතෘකා කිරීම සිදුකළා. ඒ උද්දේසවාරය සතර සතිපට්ඨානය පිළිබඳව හඳුන්වාදුන් කායානුපස්සනාව පිළිබඳවයි අප අද කථා කරන්නේ.
පින්වත් මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව කයේ කය අනුව බලමින් වාසය කරනවා. කයෙහි කය අනුව බලන විට විස්තර කරන විට කයේ පිළිකුල්බව, හිස් බව, තුච්චබව කියන අදහසක් තමා, කය කියන වචනයෙන් දෙන්නේ. කෙස්, ලොම්, නිය , දත්, සම්, මස්, නහර ආදී දෙතිස් කුණුපයන්ගෙන් යුක්ත වූ මේ කය පිළිකුල්. නො වටිනා දෙයක් බැවින් හිස් දෙයක්. අගේ කළයුතු, ප්‍රශංසා කළයුතු දෙයක් නොවන බැවින් තුච්ච වූවක් ලෙස වෙන් වෙන්ම සලකා බලන කෙනෙකුට පැහැදිලි වෙනවා. ඒ නිසා කයෙහි කය අනුව බලනවා කියන විට සත්ව පුද්ගලභාවයේ නොපිහිටා අපට පිහිටිය යුතු යථාර්ථයයි, කයෙහි කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ. ඒ යථාර්ථයේ පිහිටා කය දෙස බලමින් වාසය කළයුතු ආකාරය උන්වහන්සේ වදාළා. තවද වචන කිහිපයක් එයට එක් කරමින්. එතැන කියනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි කය අනුව බලමින් වාසය කිරීමෙන් ලැබෙන ප්‍රථිඵලය පිළිබඳව කළ දේශනාව. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇතිකරගෙන ඒ ශ්‍රද්ධාව විශ්වාසය පිහිටාගෙන උන්වහන්සේ යථාවාදී තථාකාරී යමක්ද කියන්නේ එයයි උන්වහන්සේගේ ක්‍රියාව. යථාවාදී තථාකාරි උන්වහන්සේ යමක්ද කරන්නේ එයමයි කියන්නේ. ඒ නිසා උන්වහන්සේ යමක් ලෝකයට දේශනා කරනවානම් ,කළානම් ඒකාන්තයෙන් සැබෑවක්මයි. ඒ සියල්ල දැනගෙන විදු නුවණින් අවබෝධ කරගෙන අපට කරුණාවෙන්ම යි මේ දේශනාව වදාළේ. උන්වහන්සේ වදාළ දේ සැබෑවක්මයි. සත්‍යයක්මයි. මමද ඒ සත්‍ය දැකිය යුතුයි කියන අදහස හිත තුළ නඟාගෙන උන්වහන්සේ අවබෝධයෙන් මහ කරුණාව කෙරෙහි විශ්වාසය ඇතිකරගෙන ඒ ශ්‍රද්ධාව තහවුරු වන ආකාරයෙන් වඩන්නට ඕන. අතාපි, විර්ය, සති සම්පජානෝ – නුවණ, සතිමා – සිහිය, කොතැන දක්වාද අවිද්‍යා දෝමනස්සයන්ගෙන් දක්වන්නේ ප්‍රඥාව දුබල කරන නීවරණ ධර්මයන්. නුවණ ප්‍රමාදකරන ආවරණ ධර්මයන්ට කියනවා නීවරණ කියලා. ඒ ධර්මයන් අතරේ ප්‍රධානම නීවරණ දෙක වෙන්නේ කාමච්ඡන්දය හා ව්‍යාපාදය යි. මෙය බුද්ධ ශ්‍රාවකයකු විසින් වැඩිය යුතු ඉන්ද්‍රිය ධර්මයන්. ශ්‍රද්ධාවේ පිහිටලා ශ්‍රද්ධාව තහවුරුවන සේ මේ වීර්ය නුවණ සිහිය සමාධිය දක්වා වඩනවා කියනවිට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න පටන් ගන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් පහ වැඩෙන විදිහටයි මේ කායානුපස්සනාව සිදුවිය යුත්තේ. අප ඉතාමත්ම හොඳින් මේ අදහස සිතේ තබාගත යුතුයි. කුමක් හෝ කිරීම නොව කෙසේ හෝ කිරීම නොව මේ කියන ඉන්ද්‍රි‍්‍රය ධර්ම පහ වැඩෙන විදිහට කායානුපස්සනාව වැඩිය යුතු වෙනවා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවත් එසේමයි. ඒ අනුව අප කායානුපස්සනාව වඩමින් මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ කොහොමද කියා බලමු.
විශේෂයෙන් මෙහි කියවෙනවා ආතාපි, සම්පජානෝ සතිමා. වීර්යෙන්, නුවණින් සිහියෙන් කළයුතු කාර්යයක්. මේ ටික කලින් කල වරින්වර භාවිතා කළ යුතු වැඩපිළිවෙලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ එකතැනක වදාරණවා ගින්නක් අවුලුවා ගන්නට කැමැති කෙනෙක් අමු දර, අමු ගොම,අමු තණ තෙත් සහිත සුළං එක් කළොත් පුංචි ගිනිදැල්ල මහා ගිනි ගොඩක් වෙන්නේ නැහැ. ඒ පුංචි ගිනි දැල්ලත් නිවී යන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් වියළි දර, වියළිගොම, වියළි සුළං උපයෝගි කරගෙන ගිනි දැල්ලක් ඇති කළොත් ඒ ගින්න පාලනයක් නැති මහ ගින්නක් බවට පත්වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරණවා ඒ ගින්න උපමා කරගෙන අප වඩන වැඩපිළිවෙල පිළිබඳව. සමාධිය සිහිය වැඩීමේදී සමහර වෙලාවට එය බහුලව කරනවිට සිත සැඟවෙනවා. සිත හැකිලෙනවා. ඒ වෙලාවේ නැවත නැවතත් සමාධිය පිණිස බුදුරජාණන් වහන්සේ දැක්වූයේ අර අමු ගොම අමු තණ, තෙත් සහිත සුළං ළං කරනවා වගේ. ඒක වැඩෙන්නේ නැහැ. ඇවිලෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට වියළි ගොම, වියළි තණ, වියළි සුළං එක්කොට ඒ පුංචි ගිනි දැල්ල මහ ගිනි ගොඩක් බවට පත්කර ගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ වදාළා සමාධි සිත වැඩීමේදී සිත සැඟවෙන බවක් එනවානම්, ඒ වෙලාවේදී තවදුරටත් එබඳු කමටහන්වල යෙදෙන්න එපා. ඒ වෙනුවට විදර්ශනා වශයෙන් අරමුණු විමසා බැලීමකට මාරුවිය යුතුබව. නුවණින් කළයුත්ත කරන්නට ඒ අවස්ථාවේදී අදහස් කර ගන්න ඕන. හරියට නිවෙන්නට යන ගින්නට වියළි තණ, වියලි ගොම යොදනවා වගේ. සමාධිය වැඩීමේදී දිගින් දිගට එබඳු සමාධි කර්මස්ථාන භාවිතා කිරීමෙන් එබඳු සිතේ ගති ඇතිවෙන බව යෝගාවචරයා හඳුනාගත යුතු වෙනවා. ඒ වෙලාවේදී ඒ කමටහන් වලින් මිදී විතර්ක බහුල විදර්ශනාදී වශයෙන් සිතන, මෙනෙහි කරන, විමසා බලන කමටහනට මාරු වෙන්න වෙනවා. එවිට නිවෙන්න යන ගින්න නැවත අවුලුවාගන්න පුළුවන්. මහ ගින්නක් ඇතිවෙලා තිබෙන වෙලාවක වියළි තණ , වියළි ගොම, යෙදුවොත් පාලනය කර ගන්න බැරි තරමට පැතිරිලා යන්න පුළුවන්. ඒ වෙලාවේදී මහ ගින්නට වියළි දේ වෙනුවට අමු තණ, අමු දර, අමු ගොම යෙදුවොත් ඒවත් වියලාගෙන ඒ ගින්න නො නවතී පවති. ඒ වගේ අප විදර්ශනා ලෙස අරමුණ මෙනෙහි කරනවිට සිත ඉක්මණින් බැහැරව අරමුණේ විසිරෙන්න පුළුවන්. ඒ අරමුණේ විසිරෙන වෙලාව හඳුනාගෙන තවදුරටත් එබඳු විමසා බැලීම් සිදුකරන්න ගියහොත් යෝගාවචරයා භාවනාවෙන් පිරිහෙනවා. ඒ නිසා විදර්ශනාව නතර කිරීම නවතා සමාධි කමටහන වෙත නැවත හැරෙන්න ඕන. නැවත නැවත විදර්ශනා අරමුණේ පවත්වන්න ගියොත් අර පාලනයක් නැතුව ගින්න ඇවිලෙනවා වගේ හිත විසිරෙන්න පුළුවන්. සිත උද්දච්චයට යා නොදී ප්‍රමාදය දැනගෙන එය නතර කොට නැවත සමාධි කමටහන් සිතීම අපේ අවධානය යොමු කල යුතුයි. ඒ වගේ කලින් කල වරින් වර බුදුරජාණන් වහන්සේ වදාළා වීර්යද මෙනෙහි කළ යුතුයි කියා.
සමහර වෙලාවට සිහිය හා නුවණ වැඩීමේදී සිත මැලිවෙනවා නිදිබර ගතිය ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ කමටහන් දෙකම නවතා වීර්ය පිණිස යමක් සිහි කරන්න ඕන. සසර ගැන ටිකක් හිතනවා. අනේ මේ සසර ගමනේ මම කීවාරයක් නම් අන්ධයෙක්, ගොලුවෙක්, බිහිරෙක් වෙලා කොරෙක්, ආබාධිතයෙක් වෙලා ඉන්න ඇද්ද? එබඳු ආත්මාභාව වල උපන් කල්හි මොනවගේ දුක්ඛිත අත්දැකීමක් ලබන්න ඇද්ද? මේ සංසාරයේ මම දුගියෙකු ,සිඟන්නෙක් වෙලා අනුන්ගෙන් සිඟමන් යදිමින් ජීවත්වෙන දුක්ඛිත ආත්ම තිබෙන්න ඇති. එබඳු දුක්ඛිත ආත්මභාවයන් පිළිබඳව සංසාර ගමනේ අප ආපු දුර කතර පිළිබඳව සිහිකොට බලන්න පුළුවන්. අම්ම මැරුණ වෙලාවේ හැඬු කඳුළු මහ සයුරේ ජල කඳටත් වැඩිය කියා යි බුදුරජාණන් වහන්සේ වදාළේ. අම්ම මැරුණ වෙලාවේ වගේ තාත්තා මිය ගිය වෙලාවේ මහ සයුරටත් වැඩිය කඳුළු වගුරුවා තිබෙනවානම්, අනේ කොතරම් මම මේ සංසාරේ ඉපදිලා ඉන්න ඇද්ද? කොතරම් දුක්ඛිත ආත්මභාව තුළ ඉපදිලා ඉන්න ඇද්ද? ඒ උපන් ආත්මභාව වලදී මොනතරම් දුකට වැටෙන්නට ඇද්ද? ඒ වගේම ජරාවට පත්වෙලා බිම ඇඳ වැටිලා නැඟිටගන්න ඇවිදගන්නට බැරුව අසරණ වූ අවස්ථාවක් පිළිබඳ සසර ගමන සිහි කරනවා. නා නා වර්ග රෝග හැදිලා දුක් විඳින්න ඇද්ද? අප රෝහලකට ගියාම පේනවා නානා රෝගයන්ට ගොදුරු වූ අසරණභාවයට පත් වූ රෝගීන් බවට පත්වූ රෝගීන්. එබඳු අය දැකලා අනේ මමත් සංසාර ගමනේ මෙබඳු රෝගින් වෙලා ඉන්න ඇති. තවත් මේ සසරේ ඉන්න වුණොත් මමත් හෙට දවසේ එබඳු රෝගියෙක් වෙන්නට පුළුවන් නේද? සමහර රෝගීන්ගේ මුහුණේ කෑලි කෑලි කපල අයින් කරලා. ඒවා කුණුවෙලා පණුවෝ වැඩෙනවා. නාසය ළඟ සැරව ගලනවා. ඒවා වැටෙන්නේ කටට. මෙබඳු පිළිකුලෙන් යුතු රෝගින් රෝහල්වල දක්නට ලැබෙනවා. එබඳු දුක් විඳින රෝගියෙකු වෙන්නට පුළුවන් මා හෙට දවසේ. මේ සංසාරේ ආත්මභාව ගණනක් යන්න වුණොත් ඒ වගේ බරපතල භයානක රෝගාබාධ වැළඳිලා දුක් විඳින්නට වෙන ආකාරය පිළිබඳව සිහි කරන්න පුළුවන්. සසරේ හිටියොත් මොකද වෙන්නේ. මටත් මේ දුකම නේද උරුම.
ඒ වගේම අපාය පිළිබඳවත් හිතනවා. නිරි සතෙක්, තිරිසන් සතෙක්, අසුරයෙක්, පේ‍්‍රතයෙක් වෙලා උපන්නොත් ඒ ඒ ආත්මභාවවල අත් විඳින්න වන භයානක අමිහිරි අත්දැකීම් සිහි කරන්න පුළුවන්. සසරේ කල්ප කීයක් මෙබඳු අපායවල ඉපදිලා දුක් විඳින්න වේවිද? අපට ළඟින්ම තිබෙන තිරිසන් අපාය බලන්න. කලක තද සීතලක් ,කලක තද උණුසුමක් තිබෙනවා. අපට සීතල හෝ උණුසුම දැනුනාම සංසිඳුවාගන්න විකල්ප තිබෙනවා. සීතල කාලයට අප උණුසුම් වෙනවා. උණුසුම් ඇඳුම් අඳිනවා.උණුසුම් කාලය ආවිට අප සිසිල් වෙනවා. ඒත් අපත් එක්ක ජීවත්වෙන තිරිසන් සතුන්ට කෝ එබඳු පහසුකමක්. සීතල කාලයට ඒ අප පොරවාගන්න පොරෝන නැහැ. උණුසුම් වෙන්න බැහැ. ආහාර නැහැ. හිම වැටෙන රටවල් ඔබ දන්නවා. එබඳු අවස්ථාවක ඔවුන්ගේ ජිවිත කෙසේ ගෙවනවා ඇද්ද? උණුසුම් කාලයේදී උන් කොහොමද උණුසුම් අවදිය ගෙවන්නේ. තව කෙනෙකුගේ උදව් උපකාර ගන්නවා. කෝ තිරිසන් සතුන්ට එහෙම පහසුකමක්.
.